කොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලදි.
පුත්තලම පදිංචි පුද්ගලයෙකු හා කොළඹ සේවය කරන ලද පුද්ගලයෙකු තලවකැලේට පැමිණ මෙසේ තොරතුරු වසන් කොට සැඟව සිටින බවට පොලිස් බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලද තොරතුරු මත ඔවුන් සොයා ගැනීමෙන් පසුව මෙසේ දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්බව තලවකැලේ -ලිඳුල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා පැවැසීය.
කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා සමග එක්ව මෙම නිරෝධායන කටයුතු සිදු කරන ලද බවත්, තලවකැලේ -ලිඳුල නගර සභා බල ප්‍රදේශය තුල මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවද ඒ මහතා කීය.
කොළඹ හා වෙනත් ප්‍රදේශවල සිට උඩරට වතුකරයේ බොහෝ ප්‍රදේශවලට පුද්ගලයන් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එසේ පැමිණ සිටින පිරිස් කඩිනමින් වගකියුතු අංශවලට දැනුම්දීමට පියවර ගන්නා ලෙස ඔවුන්ගෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් ඉල්ලා සිටී.
ශාන් හුලංනුගේ