සිය පියා විසින් ඥාති සොයුරියකට ලිංගික අතවර කල බවට අසත්‍ය පැමිණිලි කල දියණියක සහ අසත්‍ය ප්‍රකාශ පොලිසියට ලබාදුන් ඇයගේ ඥාති සොයුරිය අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වඳුරම් මුල්ල ප්‍රදේශයේ පදිංචි 42 සහ 22 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බව පොලිසිය කීය.සිය පියා ඥාති සොයුරියට ලිංගික අතවර කරන බවට පළමු සැකකාරිය කල පැමිණිල්ලක් මත පොලිසිය ඇයගේ ඥාති සොයුරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ලොකු අප්පා තමාට ලිංගික අතවර කල බවට ඇයද ප්‍රකාශ ලබාදුන් බව පොලිසිය කීය.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කල බවද පොලිසිය පවසයි. පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගෙන් ලද නියෝග මත වැඩිදුර විමර්ශන කල පොලිසිය ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමේදී ලිංගික අතවරයක් සිදුව නොමැති බවට අනාවරණය කරගෙන තිබේ.
ලිංගික අතවරයට ලක්වූ බව කියන කාන්තාවගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එවැනි කරදරයක් තමන්ට සිදු නොවූ බව ඇය ප්‍රකාශ කර ඇතැයි පරීක්ෂණ සිදුකල කාන්තා නිලධාරිනියක සඳහන් කලාය.ඒ අනුව පැමිණිලිකාරියගෙන්ද සිදුකල දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සිය පියාගෙන් නිවසේ කරදර බැවින් අසත්‍ය පැමිණිල්ලක් කල බවය.
සැකකාරියන් දෙදෙනා පොලිසියට අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. සැකකාරියන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සුමිත් පොතුපිටිය