සංකීර්ණ දේශපාලන තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ජනායාගේ අභිලාෂය ඉදිරියට ගෙනයාම සඳහා ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නුවන් බෝපගේ මහතාව ඉදිරිපත් කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසීය.
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශ කිරීම සඳහා අද (29දා) කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මෙලෙස අදහස් දක්වා සිටියේය.
“හිටපු ජනපතිවරයා පන්නා දැමූ 2022 ගෝල්ෆේස් අරගලය එහි කූටප්‍රාප්තියේදී වැඩපිළිවෙළක් සහිත ප්රකාශනයක් ඉදිරිපත් කළා. එය විවිධ දේශපාලන අදහස් සහිත අරගලයේ කොටස් සියලු දෙනාට එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් ලෙස ඉදිරියට ආවේ. එය ජනතාවගේ පුළුල් දේශපාලන - ආර්ථික අභිලාෂයන්වල ප්රකාශනයක්.
එදා එයට බොහෝ දේශපාලන පක්ෂවලට එකඟ වීමට සිදුවූ නමුත් ලද පළමු මොහොතේම එය අත්හැර දමනු ලැබුවා. අපි එම වැඩපිළිවෙළෙහි මූලික පදනම් කිසිවක් අත නොහැර එය අපගේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ සඳහා යොදා ගත්තා. එමෙන්ම ඉන්පසු බලයට ආ රනිල් වික්‍රමසිංහ රට කැඳවාගෙන ගිය විනාශකාරී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට එරෙහිව සටන් කළා.
රනිල්ගේ ප්රජාතන්ත්ර විරෝධී සියලු ක්‍රියාමාර්ගවලට එරෙහිව අඛණ්ඩව සටන් කළ ඉන්දියාව ඇතුළු බලවත් රටවල කොල්ලකාරී ආර්ථික උපායමාර්ගයන්ට එරෙහිව මුල සිටම පෙනී සිටි බලවේගයක් ලෙසයි අප ඔබ ඉදිරියට එන්නේ. රනිල් වික්‍රමසිංහ සමග කිසිදු අතරමැදි සමාදානයකින් තොරව සටන් කළ බලවේගයක අපේක්ෂකයා ලෙසයි අද ඔබ ඉදිරියට අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා එන්නේ.
මේ සංකීර්ණ දේශපාලන තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ජනායාගේ අභිලාෂය ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තීය ජීවිතය තුළත් ඉන් පිටතත් සිය ජීවිතය පොදු ජන අරගලය මත මුවහත් කළ නුවන් බෝපගේ සහෝදරයා ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔබට සහෝදරාත්මකව දැනුම් දෙමු.”