තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩි පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතරදී පැවසීය.
මේ වන විට අපේ ණයවල ස්ථාවර බවක් ඇතිකර තිබෙන බවත්, ඒ ගිවිසුම අනුව ක්‍රියා කොට බංකොලොත් බවින් එළියට එන්නට අප පොරොන්දු වී තිබෙන බවත්, මෙතැනට පත් කළ යුත්තේ ඒ වැඩ කටයුතු කරන්නට හැකි උදවිය බවත්, වත්මන් ආණ්ඩුවට එය කරන්න පුළුවන්දැයි වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගෑස් සිලින්ඩරයේ ලකුණ යටතේ තරග වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මාතර දිස්ත්‍රික් ජන හමුව අමතමිනි.
“මේ වන විට අපේ ණයවල ස්ථාවර බවක් ඇතිකර තිබෙනවා. ඒ ගිවිසුම අනුව ක්‍රියා කොට බංකොලොත් බවින් එළියට එන්නට අප පොරොන්දු වී තිබෙනවා. මෙතැනට පත් කළ යුත්තේ ඒ වැඩ කටයුතු කරන්නට හැකි උදවියයි. මේ අයට ඒ වැඩ කටයුත්ත කරන්න පුළුවන්ද?
ජාතික ජන බලවේගය පළමු අය වැයෙන්ම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන බව අනුර දිසානායක නුවරඑළියේදී පවසා තිබුණා. රජයේ සේවකයන්ට අප විසින් නම් කරන ලද මුදල ජනවාරියේ සිට ලබා නොදෙන්නේ ඇයි?
අප එදා රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසකින් පඩි වැඩි කළ විට එය ප්‍රමාණවත් නැති බව කියා විසිදහසක මුදලක් ඉල්ලා වැඩවර්ජන කළේ ජනතා විමුක්ති පෙරමුණයි. රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කොට වේතන වැඩි කිරීම සඳහා උදය සෙනෙවිරත්න කමිටුව පත් කළේ ඒ අනුවයි.
රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමේ තීරණයක් ගෙන නැතැයි මුලින්ම ජනපති අගමැති සහ ඇමතිවරයා පැවසුවා. ඊළඟට නිලධාරීන් එකඟ නොවූ බව කියනවා. දැන් සල්ලි වෙන් කළේ නැති බව කියනවා. නමුත් අපගේ ආණ්ඩුව නීත්‍යනුකූලව සියලු පියවර ගෙන ඇති බව අප ඔප්පු කර පෙන්වා තිබෙනවා.
මේ වගේ ගෙවන්න මුදල් තියෙන්නේ කොහේද අහනවා. අප වාහන ආනයනය කළ විට අපට වැඩිපුර ලැබෙන තීරු බදු සහ ආදායම් බදුවලින් මේ වැටුප් වැඩිවීම් ගෙවන්න පුළුවන් බව මා කිව්වා. මේ තීරණය පිළිගන්න බැරි ඇයිදැයි මා ජනපතිගෙන් අහනවා. උදය සෙනෙවිරත්න වාර්තාව අනුව කටයුතු කරන බව නොකියන්නේ ඇයි?
එහෙම නැතිනම් උදය සෙනෙවිරත්න වාර්තාවෙන් නියම කළ ගණනට වඩා වැඩිපුර ලබාදෙන බව කියන්න. ඒ එකක්වත් කියන්නේ නැහැ. එතුමා තේරී පත්වුණේ ආණ්ඩුවේ සේවකයන්ගේ ඡන්දයෙන්. පඩි වැඩි කරන බවට ආණ්ඩුවේ සේවකයන්ට පොරොන්දු වුණා. සාධාරණ වැටුප් වැඩි වීමක් ගැන කතා කරන්නේ නැතිව උදය සෙනරවිරත්න වාර්තාවෙන් නියම කළ වැටුප් වැඩි වීමක් හෝ ඊට වැඩිපුර වැටුප් වැඩි වීමක් ලබා දෙන බව ජනපති ප්‍රකාශයක් කළ යුතුයි.
එම ප්‍රකාශය කරන්නට බැරි නම් ඔබ මේ රටේ රජයේ සේවකයන්ගෙන් ඡන්දය ලබා ගන්නේ කෙසේද? එම ප්‍රකාශය කරන්නට බැරි නම් මාලිමාවට කිසිම කෙනෙක්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ.මේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමටත් ජනතාවට සහනයක් දීමටත් පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.”