සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන අහුංගල්ලේ ලොකු පැටි ටැටූ නිර්මණ ශිල්පී දුලාන් සංජුල වෙත රුපියල් පහලොස් ලක්ෂ අසූ හය දහස් පන්සියයක මුදලක් ලබාදුන් බව පොලිසිය හමුවේ පාපෝච්චාරණයක් කරමින් ටැටූ නිර්මාණ ශිල්පියා පවසා තිබේ.
ඒ සඳහා ටැටූ නිර්මාණ ශිල්පියාගේ මිතුරෙකු වන මහේෂ් නමැත්තෙකු විදේශගතව සිටින ලොකු පැටි සම්බන්ධ කර දී ඇති බවද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව දුලාන් සංජුල පොලිසියට පවසා ඇත්තේ " මම ආසාවෙන් හිටියා ටැටු ෂොප් එකක් පටන් ගන්න. ඒකට සල්ලි නැතුව ඉද්දී මගේ මහේෂ් කියල යාළුවෙක් කතා කරල කිව්වා උඹ කැමතිනම් මගේ යාලුවෙක් ඉන්නවා සෙට් කරල දෙන්නම් shop එක පටන් ගන්න උදව්වක් ගන්න පුළුවන් කියලා. .ඊට පස්සේ මට මහේෂ් දීපු නොම්බරයට කෝල් එකක් දුන්න. ඒ ලොකු පැටි කියල කෙනෙක්. එයා ඇහුවා මල්ලි උඹට කීයක් විතර යනවද මේ වැඩේ කරන්න කියලා. මං කිව්වා අයියේ ලක්ෂ පහළොවක් විස්සක් විතරයි යයි කියල. ඒ පාර ලොකු පැටි මගෙන් ඇහුවා මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මං කිව්වා මම කරපු රස්සාව නිසා මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා.හරි මන් බලන්නම් කියලා ෆෝන් එක තිබ්බා.
ඒත් දවස් දෙක තුනක් කතා කළේ නැති හින්දා කෝල් එකක් දීලා ඇහුවා අයියෙ අර ෂොප් එක පටන් ගන්නවද මොකද කරන්නෙ කියල. ඒ පාර ලොකු පැටි මට කිව්වා හරි බලල කීයක් විතර යනවද කියලා කොටේෂන් එකක් එවන්න කියලා.ඊට පස්සේ මම කොටේෂන් එකක් හදලා වට්සැප් කලාට පස්සෙ බයික් එකකින් ඇවිත් එක්කෙනෙක් මට රුපියල් ලක්ෂ දෙකක් දිල ගියා.ඒත් ආපු කෙනා මම අඳුරන්නේ නැහැ.
ඊට පස්සේ ෂොප් එකට ඕන කරන බඩු ටිකක් ගන්න කතා කරගෙන හිටපු අය්ය කෙනෙකුගෙ ගිණුමට අම්බලන්ගොඩින් ලක්ෂ දෙක දැම්මා. ඊට පස්සේ මම අම්මට කියල රුපියල් 20000 පොලියට අරන් රාගම සීදුව කඳාන සහ බත්තරමුල්ල ප්‍රදේශවල ෂොප් කිහිපයක් බැලුවා. ඒත් හරි ගියේ නෑ.ඊට පස්සේ තමයි බත්තරමුල්ල ප්‍රදේශයේ ෂොප් එකක් තියෙනවා කියලා බලන්න ආවේ. ඒ බලපු ෂොප් එක හරි ගියේ නැති හින්දා එතන හිටිය අයිය කෙනෙක් මගෙන් ඇහුවා මල්ලි මෙතන ඉඳලා කිලෝමීටර් පහක් වගේ තියෙන්නේ කැමති නම් අතුරුගිරිය තැනක් තියෙනවා ගිහින් බලන්න කිව්වා. ඊට පස්සේ මම අතුරුගිරිය ශොප් එකට ඇවිල්ල බැලුවහම මට ඒක සෙට් උනා. ඊට පස්සේ මම ලොකු පැටියට කෝල් කරලා කිව්වා අයියේ තැනක් සෙට් උනා මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මගේ අයියගේ එකවුන්ට් එකට තව ලක්ෂ හයක් දැම්මා. ඒ ලක්ෂ හයනුත් මම තවත් බඩු ටිකක් ගත්තා.
ඊට පස්සේ අතුරුගිරිය ටැටූ ෂොප් එක කරගෙන ගිය අයියාගෙන් කඩේ ගන්න එයාට හත්ලක්ෂ අසූ හයදාස් පන්සීයක් දෙන්න තිබුනා.ඒ මුදලත් අයියගේ එකවුන්ට් එකට එව්වා.ඒ අනුව 15,86500මට දීල තිබුන.
ඊට පස්සේ ෂොප් එක ඕපන් කරන්න නැකතක් බලල ලොකු පැටිට කිව්වාම එයා ඇහුවා මල්ලි මේක ඕපන් කරන්න කාටද ආරාධනා කරන්නේ කියලා. ඒ පාර මම කිව්වා මම ආසම ගායිකාවක් ඉන්නවා කේ සුජීව කියලා එයාට ආරාධනා කරනවා කියල ඊට පස්සේ ලොකු පැටී කිව්වා මල්ලි සුජීවට ආරාධනා කරාට කමක් නැහැ, ඔයා වසන්තව අඳුරන්නෙ නැද්ද ඇහුවා.මම ඇහුවා මොනවසන්තද කියලා, එයා කිව්වා ක්ලබ් වසන්ත කියල. ඊට පස්සේ එයා එයාගේ නම්බරේ නෑ කිව්වම. ෆේෂ් බුක් හරහා ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා මට වසන්ත අයියගේ නම්බරේ එවල තිබුනා.
වසන්ත කියන්නේ හොද ප්‍රසිද්ධ කෙනෙක් ඒ වගේ කෙනෙකුට ආරාධනා කළොත් ඔයාගේ බිස්නස් එකත් ප්‍රමෝට් කරගන්න හොඳ අවස්ථාවක් වේවි කිව්වා . මම පොඩි කාලේ ඉඳලා වසන්ත අයියට හරි ආදරෙයි, ඒ නිසා මගේ ෂොප් එකේ ඕපන් එකට වසන්ත අයියා ගෙන්නගන්න මම කැමති වුණා. හැබැයි ඒ වෙලාවෙ ලොකු පැටී කිව්වා "මල්ලි ක්ලබ් වසන්තට ඔයාම ආරාධනා කරන්න අපි කුඩු බිස්නස් කරන අයනේ මම ආරාධනා කරොත් එයා ඕකට එන එකක් නෑ. ඔයාම ආරාධනා කරන්න කිව්වා" ඒකට මම ගොඩක් කැමති වුනා
ඊට පස්සේ ශොප් එකේ ඕපන් එකට නැකතක් බැලුව.ඒ නැකැත් දිනය සහ වේලාවත් ලොකු පැටි මට කෝල් කරලා ඉල්ල ගත්තා. එයා මට කිව්වා මේ වැඩේට වියදම් කරන්නේ ලොකු පැටි කියලා කාටවත් කියන්න එපා කියලා. ඒ අනුව තමයි ෂොප් එක ඕපන් කරන දවසේ එකපාරටම තුවක්කු අරගෙන දෙන්නෙක් ඇවිල්ල වසන්ත අයියට වෙඩි තියලා මේ අපරාධය කළේ යැයි" ටැටූ නිර්මාණ ශිල්පී දුලාන් සංජුල පොලිසිය හමුවේ පවසා තිබේ.
ඒ අනුව දුලාන් සංජුලගේ මිතුරා වන මහේශ්ට ඩුබායි සිට ලැබුණු උපදෙසකට අනුව 08 දා උදෑසන තවත් මිතුරෙකු සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ගල්පොත්ත හන්දියට ගෙනැවිත් වෙනත් පුද්ගලයකුට භාර දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ මෝටර් රථය සහ වෑන් රථය සමග ටැටූ ශිල්පියා ඇතුළු හත් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අහුන්ගල්ල බලපිටිය ගනේමුල්ල අම්බලන්ගොඩ සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචි 24 -37 වයසේ පසු වන්නන් බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් වැන් රථය මීට මාස එකහමාරකට පෙර පනාගොඩ යුද හමුදා කඳවුර අසලට ගෙනවිත් වෙනත් පුද්ගලයකුට භාරදී බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යන ලෙසට උපදෙස් දී තිබේ . ඒ සඳහා රුපියල් රුපියල් ලක්ෂ එක හමාරක් ඔහුට දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව බෙලිඅත්ත ප්‍රදේශයට රැගෙන ගිය වෑන් රථය ඉකුත් 06 දා දක්වා එම නිවසේ ගාල්කර තිබී ඇති අතර ඔහුට ද අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් දී ඇති බවත් ඔහු එම ප්‍රදේශයේ ලියාපදිංචි අපරාධකරුවකු බවට අධිකරණයෙන් නම්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
මීට අමතරව පොලිස් භාරයට ගත් මෝටර් රථය සහ වෑන් රථය හිමි සිසර්ලාටද ඩුබායි රාජ්‍යයෙන් යහමින් මුදල් ලැබී ඇති බව තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (10) දා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කොට
පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි.
වෙඩි වැදීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගිය අතර ක්ලබ් වසන්තගේ බිරිඳ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු මේ වනවිට හෝමාගම කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්වය බරපතල බවත් පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත )(55) සහ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවාගෙ සැමියා වන අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 හි පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනෙකි.
ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවාගේ සැමියාගේ දේහය ඇයගේ දියණියන් දෙදෙනාට අධිකරණ නියෝග මත ලබා දී ඇති අතර එම දේහය මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.
මියගිය ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට කොළඹ මල්ශාලාවක තැන්පත් කර තිබේ.
මේ අතර මියගිය ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ පෙනහල්ලට උණ්ඩ දෙකක් වැදී ඇති බවත් ඒ අනුව ජීවිත අවදානමක් පවා සිදුවිය හැකි බව වෛද්‍ය මතය බව පොලිසිය කියයි.
මීට අමතරව කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ටැටූ ශිල්පියාගේ බාල සහෝදරියක හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මේ අතර මියගිය ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත්බෑගයේ තිබූ රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා උන්ඩ හතරක් තිබී පොලිසිය සොයාගෙන ඇති අතර එය නීති විරෝධීව සන්තකයේ තබාගෙන තිබූ බව පවසන පොලිසිය ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
මෙහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කෝටි ගණනින් මුදල් වැය කොට මෙවන් පුද්ගලයින්ට සිහින බලාපොරොත්තු දී පාතාල සාමාජිකයින්ගේ අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් නොසිටියහොත් ඔවුන් මුදල් වැය කොට මෙවන් උගුල්වලට පුද්ගලයින් කොටු කරගෙන සිදු කරන අපරාධ හරහා අවසානයේදී සිදුවන්නේ තම මවගේ පියාගේ සැමියාගේ බිරිඳගේ දරු මල්ලන්ගේ ජීවිත හානි වීම බව පවසන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසය.
කොට්ටාව ප්‍රදීප් කුමාර