අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි ගණනකට විකිණීමට සූදානම්ව සිටි එම ජාවාරමේ මහ මොළකරු වන දිවයිනේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු සැකකරුවන් 5ක් අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 5ක් සමග ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, පොළොන්නරුව කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල්අඩිය පුත්තලම, මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම, යටිගහගල මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකි.
අත්අඩංගුවට ගත් ගායකයා මෙරට රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගී වී අවසාන කිහිපදෙනා අතරට තේරී පත්වී දැනට ප්‍රසිද්ධ ගායකයෙකුව කටයුතු කරන අයෙකු බව පොලීසිය කියයි.
සැකකරුවන් විසින් ජේතවනාරාම දාගැබ අසල සිට උපාංගයක් භාවිත කරමින් සිදු කෙරෙන පරීක්ෂණය, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගැනුම්කරුවන් පිරිසකට යවා ඇති බවත් එහි ආරෝපණයක් පවතින්නේ නම් එම ගැනුම්කරුවන් රැගෙන එන යන්ත්‍රයක් මගින් අකුණු සන්නායකයට හානියක් නොවන පරිදි එම ආරෝපණය ඇද ගැනීමේ බලයක් තිබූ බව සැකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
ජේතවනාරාම ස්ථූපය වැනි වසර ගණනාවක් පැරණි අකුණු සන්නායකවල ඇති ඉරේඩියම් නමැති ලෝහයන් අභ්‍යවකාශ යානාවලට, මිසයිල නාශකවලට, වෙඩි නොවදින ඇඳුම්වලට භාවිත කරන බවත් එය මිලදී ගැනීම සඳහා විදේශ රටවලින් කෝටි පන්සියයකට වැඩි මුදලක් වියදම් කරන බවත් අතරමැදියන් හට රුපියල් කේටි 250ක් ලැබෙන බවත් සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන බව පොලීසිය සඳහන් කළේය.
මීට වසර ගණනාවකට පෙර සොරුන් විසින් ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකයේ තඹ තහඩුව ගලවා ගෙන ගොස් තිබූ බවද පොලීසිය කියයි.
මෙම ජාවාරම කාලයක සිට සිදු වූයේද සහ ඒ සඳහා චීවරධාරීන්ගේ හෝ පොලීසියේ සහාය ලැබුණේද යන්න අනාවරණය කර ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද පොලිස් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය
එම සැකකරු සන්තකයේ තිබී අකුණු සන්නායකවල ආරෝපණ ශක්තිය කිරීම සඳහා යොදා ගන්නා උපාංගයක ඇති අංක සටහන් කර ඇති වීදුරුවක්, සුදු පත්තර කැබැල්ලක්, හාල් ඇට 5ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අකුණු සන්නායකය සොරා ගෙන යෑමට පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 2 දිනයේදී තඹුත්තේගම සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්‍රදේශවල පදිංචි 29, 38 සහ 41 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු, ත්‍රිරෝද රථයක් සමග උඩමළුව පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් අත්අඩංගුවට ගත්හ.
එම සැකකරුවන් තිදෙනාගේ ජංගම දුරකථන තමන් භාරයට ගෙන, අනතුරුව සියලු නිවේදන කටයුතු පොලිස් උපාය ධූතයන් යොදවා සිදු කිරීමේදී මෙම ගායකයා ඇතුළු මහ මොළකරුවන් 5දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන් කළේය.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.