ඉකුත් අරගල භුමියේ ප්‍රසිද්ධියට පත්ව සිටි ජින් ඇන්ටි නමැත්තියගේ රුපියල් එක් ලක්ෂ පනස්නවදහසක මුදලක් හා ජංගම දුරකථනයක් සොරකම් කිරීම සම්බන්ධව ඇය විසින් සිය සැමියාට එරෙහිව පවරා තිබෙන නඩුව ඊයේ (18 වැනිදා) මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ නැවත කැඳවු අවස්ථාවේ මේ සම්බන්ධව සැමියා සමග සමථයකට පත් වී සිටින නිසා එම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවට පැමිණිලිකාර ජින් ඇන්ටි අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
තවද වැඩිදුරටත් අධිකරණය හමුවේ ජින් ඇන්ටි සදහන් කෙළේ මේ සම්බන්ධව එඩේරමුල්ල පොලිසියට කර තිබු පැමිණිල්ල ද ඉල්ලා අස් කර ගන්නා බවය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මේ නඩුව සොරකමක් සම්බන්ධව නිසා එය සමථයකට පත් කිරීමට නොහැකි බවය.
ඉන්පසුව සැකකාර සැමියා සිදු කරන ලද එම සොරකම සම්බන්ධව වරද පිළිගත් හෙයින් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර සැමියාට තරයේ අවවාද කොට ඔහු මුදා හැර එම නඩුව නිමාවට පත් කරනු ලැබුවාය.
ඩබ්ලිව් ඩී එම් විතානගේ