කෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්රජාතන්ත්ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්රජාතන්ත්රවාදය අගයන සැමගේ වගකීම බව ජාතික ජනබලවේගය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජනබලවේගය වැඩිදුරටත් පවසා සිටින්නේ, මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා දැනුවත් කොට මැයි අග ඡන්දය පැවැත්වීම දුෂ්කර නිසා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස දන්වා තිබුණත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇත්තේ එය නොසලකා හරින හා දැඩි ප්‍රතිචාරයක් බවත්, ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුව මැයි අග කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට අදහස් කරන බවත්ය.
මැතිවරණය කුමණ දිනයක පැවැත්වුවත් එය කාටත් අදහස් පළ කළ හැකි සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය හැකි වටපිටාවක් තුළ පැවැත්විය යුතු බවත්, එවැනි වටපිටාවක් සකස් කොට ඡන්දය පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවත් ජාතික ජනබලවේගය අවධාරණය කරයි.
COVID 19 වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී සමහර නීති රීති සීමා සොලකමින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම පිළිබඳ තේරුම් ගත හැකි බවත්, එහෙත් කොරෝනා මර්දන ක්‍රියාවලියට මුළු සමාජයම, සමස්ත ජාතියම සම්බන්ධ කර ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා තමන්ට අවනත පිරිසක් පමණක් එක්කර ගනිමින් කටයුතු කිරීමත්, එහිදී පාර්ලිමේන්තුව අක්‍රීය කර තිබීමත් සමහර සැලකිය යුතු නීතිරීති උවමනාවෙන්ම නොසලකා හැරීමත් මගින් ප්රජාතන්ත්රවාදී ව්‍යූහයක් තුළ කටයුතු කරනවා වෙනුවට තනි පුද්ගලයෙකුගේ පාලනයට ඇති කැමැත්ත පෙන්වමින් සිටින බවත් සඳහන් කරයි.
ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක් කරමින් තනි පුද්ගලයෙක් වටා එක්වුණු කණ්ඩායමක පාලනයක් සාධාරණය වනසේ ආණ්ඩුව විසින් කරගෙන යන මෙම කටයුතු ප්රාජතන්ත්රවාදයට තර්ජනයක් විය හැකි අතර අනාගත ඒකාධිපති පාලනයක් සඳහා පෙරහුරුවක්ද විය හැකි බවත්, එසේම මුළු රටම ජාති ආගම් භේදයෙන් තොරව එකට එක්ව මෙම කොරෝනා ව්‍යසනය පරාජය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ විවිධ කණ්ඩායම් හා සමහර ජනමාධ්‍ය මෙම ව්‍යසනය තුළ පවා ජාතිවාදය අවුලුවනු දැකිය හැකි වීම කණගාටුදායක බවත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුව විවේචනය කරමින් අදහස් පළ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට තිබූ උනන්දුව හා හදිසිය මෙවැනි ජාතිවාදී මත පැතිරවීම වැලැක්වීමට නොතිබූ බවත්, ජාතික ජන බලවේගයට එරෙහිව පතුරුවන මෙවැනි අසත්‍ය ප්‍රකාශ පිළිබඳ පැමිණිලි කර තිබියදීත් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමටද ආණ්ඩුව තවම කටයුතු කර නොමැති බවටද ජාතික ජනබලවේගය ආණ්ඩුවට චෝදනා කර සිටියි. එය ඒකාධිපති පාලනයක ඇරඹුම බව ද සඳහන් කරයි.
එබැවින් COVID 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්රජාතන්ත්ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත් ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්රජාතන්ත්රවාදය අගයන සැමගේ වගකීම බව අවධාරණය කරන ජාතික ජන බලවේගය ප්රජාතන්ත්රවාදය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට සූදානම් බවද අවධාරණය කර සිටියි.