ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරු රැගෙන යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු මිලිගෑම් 6470 ක් පොලිස් භාරයට ගෙන ඇත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූවේ මොහොමඩ් හෂාන් මොහොමඩ් රිල්වාන් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාදය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී සි සි ටි වි දර්ශන හා පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් අපරාදය සිදුකිරීම සඳහා පැමිණි සැකකරුවන්ගෙන් යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා හඳුනාගෙන එම සැකකරු පදිංචි කොළඹ 15 පර්ගියුසන් පාර නිවසේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ඉකුත් 25 වෙනිදින වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා වෙළඳ සැල තුළ පුටුවක අසුන්ගෙන සිටියදී යතුරුපැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනෙකු ගෙන් අයකු ඔහු අසලටම පැමිණ රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති අතර එයින් එක් වෙඩි ප්‍රහාරයක් එම පුද්ගලයාගේ උරහිස ප්‍රදේශයට වැදී තිබිණි.
වෙඩි වැදුණු පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන පූකුඩු කන්නාගේ සමීපතම ඥාතියකු බවත් ඔහු මස් වෙළඳසැල පවත්වාගෙන යන ගොඩනැගිල්ලද පූකුඩු කන්නාට අයත් එකක් බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඝාතනයට ලක් වූ කුඩු සෙල්වි නැමැත්තියගේ පුතෙකු වන රිමෝශන් නැමැත්තාගේ මෙහෙයවීම මත බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් ජනවාරි 24 වෙනි දින රාත්‍රියේ ආදුරුප්පු විදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පූකුඩු කන්නාගේ කල්ලිය විසින් කුඩු සෙල්විගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.