වර්තමාන නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැවතත් ඔහුගේම නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන බවට වාර්තා වන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව මෙම ක්‍රියාව අධිකරණයේ ස්වාධීනත්වයට ඍජුව බලපාන කාරණයක් මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන නීතිඥවරුන්ට කළ බරපතළ අපහාසයක් බව අද (23දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
&මේ රටේ බරපතළ අර්බුදයක් මේ මොහොතේ තිබෙනවා. මේ රටේ නීතිපතිවරයා පත් නොකර, විශ්‍රාම යන නීතිපතිවරයා තවත් මාස 06ක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිලාෂය මත තනතුරේ තියාගන්න උත්සහ කරනවා. මේ රටේ කිසිම කෙනෙක් වර්තමානයේ නීතිපතිවරයා විශ්‍රාම යන වයසෙන් පස්සේ තියාගන්න ඉල්ලන්නේ නෑ. මේ රටේ කිසිදු සුවිශේෂ නීතිමය හෝ ප්‍රායෝගික අවශ්‍යතාවක් නැහැ වර්තමාන නීතිපතිවරයාට තනතුරේ ඉන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතාම දක්ෂ, විශාල පලපුරුද්දක් තියෙන, නීතිපතිකම් කරන්න සුදුසුකම් තියෙන නීතීඥවරුන් සහ නීතීඥවරියන් සිටිනවා. රජයේ නීතිඥවරුන්ගේ ඊළඟ උසස්වීම තමයි නීතිපති ධුරය. නීතිපති දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තුවක්.
සම්ප්රදාය තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නීතිඥයා නීතිපති ධුරයට පත් කරන එක. එසේ පත් නොකරනවා නම් සුවිශේෂ හේතු සහිතව වෙනත් ක්‍රියාමාර්ග ගත්ත අවස්ථා තියෙනවා. ඒත් වර්තමාන නීතිපතිවරයාට රටේ ආණ්ඩුක්රව ව්‍යවස්ථාවේ තිබෙන සාමාන්‍ය ප්‍රතිපාදන වලින් ඔබ්බට ගිහින් වැඩිපුර මාස 06ක් දෙන්න ආණ්ඩුක්රව ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළා. මේත ඉතාම බරපතළයි. සැක සහිතයි. ජනාධිපතිවරණයකට මාස කිහිපයක් තියෙද්දි මැතිවරණ පෙත්සම්, ජනාධිපතිවරණ පෙත්සම් වගේම රටේ පක්ෂවල තිබෙන නීතිමය ගැටලු පිළිබඳ රටක නීතිපතිවරයාට තිබෙන වගකීම ඉතාම ඉහළයි. අධිකරණය සමග කටයුතු කිරීමේදී රජයේ ස්ථාවරය ස්වාධීනව, නිවැරදිව ඉදිරිපත් කිරීම පිළිබඳ නීතිපතිවරයාට තියෙන වගකීම ඉතාම වැදගත්.
මේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළා. එහෙම තියෙද්දි වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීමේ යෝජනාව නැවත වරක් ඒ විදියටම ඒ සභාවටම ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේක දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරු දරන ස්වාධීන දක්ෂ නීතිඥවරුන්ට කරපු ඉතාම බරපතළ අපහාසයක්. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට ඍජුව බලපාන කාරණයක්.*