ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ජනාධිපතිවරණය කල් දැමිය හැකි බවට විවිධ පුවත් නිර්මාණය කළද ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මේ දවස්වල ආණ්ඩුව පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක් යනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය තව අවුරුද්දකින් දීර්ඝ කරගන්න පුළුවන් කියලා. අපි පැහැදිලිවම කියන්න ඕනෑ 1977 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අවුරුදු 06ක් තිබුණා. ඒත් 2015දී යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 05ට අඩු කරලා තියෙනවා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වෙද්දි 19 වැනි සංශෝධනය ඇවිල්ලා තිබුණේ නෑ. එතුමා පත්වුණේ අවුරුදු 06ට. ඉන්පසුව ධුර කාලය 05 කළාම එතුමාටත් ඉන්න පුළුවන් වුණේ අවුරුදු 05යි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ අවුරුදු 05ක් සඳහා.
ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ අනුව ඔහුට ඉන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉතිරි කාල සීමාව සඳහා පමණයි. ඒ නිසා කිසිම හේතුවකින් එයාට අවුරුදු 06ක් ඉන්න බෑ. අනිත් එක ජනමත විචාරණ තියෙනවා කියලා මයින්ඩ් ගේම් ගහනවා ආණ්ඩුවෙන්. ජනමත විචාරණයකට යන්න කලින් තුනෙන් දෙකක් ගන්න ඕනෑ පාර්ලිමේන්තුවේ.
ආණ්ඩුවට කොහේද තුනෙන් දෙකක් තියෙන්නේ? මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නෑ. ඒ නිසා පැහැදිලිවම ලබන මාසේ 16 වැනිදායින් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ලැබෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හෝ ආණ්ඩුවේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේම ඔක්තෝබර් මාසයේ 16ත් සැප්තැම්බර් මාසයේ 16ත් අතර දවසක මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වෙන්න නියමිතයි."