පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුභාරංචිය රට හමුවේ තබන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද (03) මීගමුව රෙක්ස් ඉන්ඩ්රස්ටිස් ආයතනය දැඩි සත්කාර ඒකක ඇඳන් වාණිජමය ලෙස නිෂ්පාදනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය,
“කොරෝනා වසංගතය ලෝකයට පාඩම් රැසක් උගන්වා තිබෙනවා. යුරෝපයෙන් අපට ආනයනය කරපු මතවාද අද පුස්සක් බවට පත් වී තිබෙනවා. ‘ජාතික රාජ්‍යය තුළ සිදු කරන නිෂ්පාදන පමණයි අපට ඉතිරි වන්නේ’ කියන පාඩම අද අපට කියාදී තිබෙනවා.
ඒ නිසා මේ මහා වසංගතයෙන් මිදුණු පසුව අප දේශීය වශයෙන් කර්මාන්ත පුනරුද යුගයක් ඇරඹීමට සූදානම් විය යුතුයි. කර්මාන්ත පුනරුද යුගයට අවශ්‍ය මානසිකත්වය අප දැන් සිටම නිර්මාණය කළ යුතුයි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.