හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඔහුගේ පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 10 දින පෙරවරුවේ පැවසීය.
මාතලේ දිස්්ත්රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කරණ කණ්ඩායම් පිළිබඳව විමසීමේදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 වසරේ සිට දශක තුනක කාලයක් පාර්ලිමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නොකඩවාම පාර්ලිමේන්තුවට තේරී පත්විය .
ඒ අනුව පසුගිය කාලයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා කැබිනට් අමාත්‍යධුර කිහිපයක්ම හෙබවූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂය අතහැර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමඟ දේශපාලන කටයුතුවලට නිරත විය.
පසුගිය මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජනකබණ්ඩාර තෙන්නකෝන් මහතා මෙන්ම ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට විය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ද විය.
හිටපු අමාත්‍යවරයෙකු වන ටි.බී. තෙන්නකෝන් මහතාගේ පුත්‍රයෙකු ලෙස දේශපාලනයට පිවිසී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දශක තුනක කාලයක් පාර්ලිමේන්තු මැතිවරණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගොස් මෙවර 2024 මහ මැතිවරණයට තරග කිරීමෙන් වැළකී් සිටින බව ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නවක මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදීම සඳහා පවතින දේශපාලන තත්ත්වය මැනවින් වටහාගෙන මෙම තීරණයට එළඹි බවද ඒ මහතා සඳහන් කළේය.