උසනම් සිකියුරිටි මිටිනම් කමිකරු පන්නයේ ප්‍රතිපත්ති ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රට භාරදුන්නොත් රටේ හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැතිවෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නෙ මේ මොහොතේ රටේ අනාගතය භාර දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (25) දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
“පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අපිට තිබුණා. වැඩ ආරම්භ කරනකොටම ඇතිවුණු කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික අර්බුධයක් ඇති වුණා. ආණ්ඩුවක් හැටියට අපිට පුළුවන්කමක් තිබුණේ නෑ ආර්ථිකය ගොඩගන්න.
එදා කැබිනට්ටුවේ අපි හිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා.
නාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ”