දේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
ආර්ථික මධ්‍යස්ථාන බෝහෝමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භව භෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම සඳහා සහ විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සාකච්ඡා කොට මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විශේෂ මිලගණන් යටතේ එළවලු මිලදී ගැනීම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දඹුල්ල්ල ගම්උදාව ක්‍රිඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රිඩාංගණය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ,ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නාවුල අලුගොල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවලු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් ලබාගන්නා එළවලු අවශ්‍ය ප්‍රදේශවලට ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමේ කටයුත්තක් ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම පැවසීය .
ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග ගොවීන්ගේ ව්‍යාපාරිකයින්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග සියල්ල පසෙක දා ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සුදුසු බවට යෝජනා කළ ව්‍යාපාරිකයෝ ඉතා සූක්ෂම ලෙස නගරයේ සෑම ස්ථානයකම තබාගෙන ජනතාව රෝගී තත්ත්වයන් වලට පත් කරමින් ඉතා අඩු මිල ගණන් යටතේ එළවලු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් දියත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කාංචන කුමාර ආරියදාස