කොළඹ වරාය සමීපයේදී 2021 වසරේ ගිනිගැනීමෙන් විනාශයට පත්වූ MV -X PRESS PEARL නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් පබළු ඇහිඳීමේ කටයුතු වෙනුවෙන් ඉකුත් වසරේ අවසානය වන විට රුපියල් 802,016,487 ක මුදලක් වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ප්‍රජා දායකත්වයෙන් පබළු ඇහිඳීම වෙනුවෙන් දීමනා ලෙස රුපියල් 248,192,250 ක් සහ ඒ සඳහා උපකරණ ,ප්‍රවාහන, ආහාර හා අනෙකුත් වියදම් ලෙස රුපියල් 553,824,237 ක මුදලක් ලෙස මෙම මුලු මුදල වැයකර ඇතැයි විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙහිදී දෛනිකව එකතු කළ මුළු පබළු ප්‍රමාණයේ එකතුව 2022 ට සාපේක්ෂව 2023 වන විට කිලෝ ග්‍රෑම් 44 සිට 20 දක්වා අඩුවී තිබූ නමුත් 2023 වසරේ ප්‍රජා දායකත්වය සඳහා දරන ලද පිරිවැයෙහි අඩුවීම රුපියල් මිලියන 124 සිට 106 දක්වා මිලියන 18 ක් පමණක් වී ඇතැයිද විගණනය සඳහන් කරයි.
ප්ලාස්ටික් පබළු වෙරළේ වැඩිදුර ප්‍රමාණයක විසිරී ඇති බැවින් සැලකිය යුතු පිරිසිදුකරුවන් ප්‍රමාණයක් යෙදවිය යුතු බවත් 2021 ට සාපේක්ෂව 2022 දී වෙරළ පිරිසිදුකරන්නන් අඩු වුවද භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම නිසා වියදම්වල අඩුවක් වී නැති බව සමුද්‍රිය ආරක්ෂණ අධිකාරිය විගණනය වෙත දන්වා ඇත.
ප්‍රජාවගෙන් සේවා ලබා ගැනීමේදී ඔවුන්ගේ සේවා අවශ්‍යතාව හා කාර්ය සාධනය පදනමින් විධිමත් ක්‍රමවේදයකින් අධීක්ෂණය කර සේවයේ යොදවා ගැනීමට කටයුතු කළ යුතුයැයි විගණනයෙන් නිර්දේශ කර ඇත.