දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඒ පිළිබද පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදය මෙසේයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - 2024 පෙබරවාරි 13 දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තියේ 19 වන පරිච්ඡේදයේ සංශෝධනය කිරීම පිළිබද පනත් කෙටුම්පත මම ප්‍රසන්න රණතුංග අමැතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි.
මේ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාල වයස්කාර ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කිරීම, ඒ වගේම පිරිමි වරදකරුවෙකුට අවුරුදු 22 ට අඩුනම් දඩුවම් ලිහිල් කිරීම ඒ වගේම 363 දණඩ නීති සංග්‍රහයේ පිරිමි සහ ස්ත්‍රී දූෂණය එකට දානවා වෙනුවට ස්ත්‍රී දූෂණය වෙනුවෙන් වෙනම අණපනත් සහ පිරිමින්ට තිබිය යුතු ඒවා වෙනම සංශෝධන හරහා ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් කරුණු හැටියට අණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මම යොමු කරනවා. ඒ වගේම මම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 හා 364 වගන්ති ඉවත් කර ගන්නා ලෙස. ළමා, කාන්තා ඒ වගේම පුරුෂ පක්ෂයේ අපි හැමෝගෙම අයිතීන් සුරෂිත කරන්න.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා - එතුමාගේ ඉදිරිපත්කිරීම මම අධිකරණ ඇමතිතුමාගේ අවධානයට යොමු කරණවා. මම දන්නේ නැහැ ඒක විපක්ෂයේම මතයද කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ ගණිකා වෘත්තිය නීතිගත කරන්න හදන නිසා ඒ අය ඒකට ප්‍රතිචාරය දෙන්නේ කොහොමද දන්නේ නැහැ. මේක සංකීර්ණ ගැටළුවක්. මෙය සාකච්ඡා කළ යුතු දෙයක්. එම නිසා එය කරන්න ඕන ඒකට කතා දෙකක් නැහැ.