ගාල්ල මහ නගර සභාව මගින් හිටපු නාගරික මන්ත්‍රීවරුන් 22දෙනෙකු සඳහා රුපියල් දහතුන් ලක්ෂ අනූදහස් අටසිය අනූඑකක් (1,390,891) වටිනා ලැප්ටොප් සහ ටැබ් පරිගණක 22ක් ලබා දී තිබුණද, එම උපකරණ නැවත නගර සභාව වෙත භාරදී නොතිබූ බව ජාතික විගණක කාර්යාලය මගින් අප්‍රේල් මස 02වැනි දින නිකුත් කර ඇති නවතම විගණක වාර්තාවකින් අනාවරණය වී ඇත.
2012 වර්ෂයේදී මෙකී ලැප්ටොප් සහ පරිගණක මිලදී ගෙන තිබුණි. ඒ අනුව රුපියල් නවලක්ෂ අනූහතර දහස් නවසියයක් වටිනා 994900 ලැප්ටොප් 11ක් සහ රුපියල් තුන්ලක්ෂ අනූපන්දහස් නවසිය අනූඑකක් වටිනා (395,991) ටැබ් පරිගණ 9ක් මිලදී ගෙන ඇති බවද මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.
ගාල්ල නගර සභාව සතු වත්කම් කළමනාකරණය සිදු කළ යුතු බවද විගණන මගින් නිර්දේශ කොට ඇත. ඒ සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, පළාත් පාලන කොමසාරිස් වෙත ලිපියක් ඉදිරිපත් කොට ඇති බවයි. ගාල්ල මහ නගර සභාව සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව එකී විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.
චන්දන සමරවික්‍රම