ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(14දා) සිට දින 03 කාලයක් සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ග්රාමනිලධාරි සේවය ස්ථාපිත කිරීමට අදාළව සකස් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීමට විරෝධය දැක්වීම, ග්‍රාම නිලධාරි සේවයට අනන්‍ය වූ වැටුප් තලයක් ලබදෙන ලෙස ඉල්ලීම හා ගමන් වියදම් දීමනා යාවත්කාලීන කරන ලෙස ඉල්ලීම මෙම ක්‍රියා මාර්ගයෙහි ඇමුණ බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ අනුව අද(14දා), හෙට (15දා)සහ අනිද්දා (16දා) යන දින තුන තුළදී අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව සිටීමට කටයුතු කරන බවත්, මෙම දින තුළදී මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් හා ආණ්ඩුකාරවරුන්ට ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බවත්සඳහන්කරයි.
ග්‍රාම නිලධාරිවරයෙකුට ගමන් වියදම් ලෙස මසකට රු.7500ක මුදලක් දැරීමට සිදුව තිබෙන බවත්, ගමන් වියදම් දීමනාව ලෙස හිමිවන්නේ මාසයකට රු.600ක මුදලක් පමණක් බවත්, නිසි වැටුප් තලයක පිහිටු වීමට කටයුතු නොකිරීම නිසා ග්‍රාම නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් පෙන්වා දෙයි.අද සිට සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ගවලට අනුව පවතින ගැටලු විසඳීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.