රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු 03/04 දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කළක් තිස්සේ තවත් ගුවන් තොටුපොළ සේවකයින් පිරිසක් සමග එක්ව මෙම ජාවාරම කර ගෙන ගොස් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
මෙම ගුවන් තොටුපොළ සේවකයා කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත සුපරීක්ෂකවරයාගේ කාර්යාලයේ සේවයේ නිරත සුළු සේවකයෙකු වන අතර ඔහු අද දින සිය සේවා මුරය නොමැති අවස්ථාවක ගුවන් තොටුපොළ වෙත පිවිස මෙම නීතිවිරෝධී ලෙස මෙම ස්වර්ණාභරණ තොගය පිට කිරීම සිදු කර තිබේ .
ඔහු මෙම ස්වර්ණාභරණ තොගය අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ වාහන නැවතුම් ස්ථානය අසළ දී පිට කිරීමට රැගෙන යමින් සිටියදී 03/04 දින උදෑසන 08.15 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ අධි ආරක්ෂිත කළාපය සහ මහජනයා ගැවසෙන ( Public Area ) වෙන් කිරීමට යොදා ඇති වානේ දොරක සවි කර ඇති ලූවර් පටි ඈත් කර මෙම ස්වර්ණාභරණ තොගය ඇතුළත් පාර්සලය මුළින්ම පිට කර තිබේ.
මෙම පාර්සලය තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ් පත් ලෙස බැලූ බැල්මට පෙනෙන ආකාරයට රත්තරන් වලින් සකස් කළ කාඩ් පත් 20 ක් , රත්තරන් ජෙල් කරල් (Capsules ) 12 ක් , රත්තරන් ජෙල් පෑඩ් 02 ක් සහ මාළ , බැංගලර් , වළළු , මුදු , කරාබු ද තිබුණි.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර එතුමා රේගු නිලධාරීන්ගේ කාර්යය භාරය ඇගැයීමට ලක් කළේය .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් තොටුපොළ සේවකයා සහ ඔහු විසින් පිට කිරීමට තැත් කළ ස්වර්ණාභරණ තොගය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .