දකුණු පළාතේ ප්‍රසිද්ධ අවන්හලක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් කෝටි 15 කට ආසන්න මුදලක් ලබාගෙන එය ලබා නොදී වංචා කර සැඟව සිටි මහා පරිමාණ වංචා කාරියක් වන 54 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකාරිය මීට පෙර මහේස්ත්‍රාත්වරියක් ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් හය ලක්ෂයකට අධික මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු තැනැත්තියක් බව පොලිසිය කියයි.
එම සැකකාරිය පරිහරණය කළ අති සුඛෝභෝගී මෝටර් රථයක් , ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හතරක් හා ලැෆ් ටොෆ් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මිතුරෙකුගේ නඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදී තමාගේ මිතුරන් දෙදෙනකු මාර්ගයෙන් මෙම කාන්තාව හඳුනාගත් බවත් අනතුරුව තමාගේ යෙහෙළියක වශයෙන් විශ්වාසය දිනා ගනිමින් නැවත ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් 14 කෝටි අනූපන් ලක්ෂයක මුදලක් අවස්ථා හතරකදී ඉල්ලා ගත් බවත් එම ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
එම කාන්තාව ව්‍යාපාර කටයුතු කරන බවත් ආනයනය කරන ලද ඩිපෙන්ඩර් රථ සහ ප්‍රාඩෝ රථ කීපයක් රේගුවෙන් නිදහස් කර ගැනීමට තිබෙන හෙයින් ඒවා නිදහස් කර ගැනීමෙන් අනතුරුව එම වාහන වලින් කීපයක් සහ කොළඹ ප්‍රදේශයේ ඉඩම් තමන් වෙත ලබා දෙන බව ට පොරොන්දු වීමෙන් අනතුරුව මෙම කාන්තාවට තමන් විසින් කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී 2023 අප්‍රේල් මාසයේ දිනක ප්‍රථමයෙන් කෝට් 5 ක මුදලක් ඒ ආකාරයෙන් වරින් වර කෝට් 4 1/2 , ලක්ෂ 50 ක් හා අවසන් වරට 4 කෝටි අනූපන් ලක්ෂයක මුදලක් ලබා දුන් බවත් ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.
එයින් පසු මෙම කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා තමන් වෙත දැනගැනීමට නොලැබුණු බවත් ඇය තම මුදල් ලබා නොදී සැඟව ඇති බවත් ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වූ බව පොලිසිය සඳහන් කරයි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාරිය කිරිබත්ගොඩ මාවර මණ්ඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලදී ඇය මීට පෙරද මහා පරිමාණ මුදල් වංචා රැසකට සම්බන්ධ තැනැත්තියක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතමයෙකු බව හඟවමින් මීට පෙරද මුදල් වංචා රැසක් සිදු කර ඇති බවත් සැකකාරිය ට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ,කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ,මාලිගාකන්ද ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු රැසක් තිබෙන තැනැත්තියක් බව ත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම සැකකාරිය මහේස්ත්‍රාත්වරියක් ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් 6 ලක්ෂ 36000/= ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ තැනැත්තියක් බවත් ඊට අමතරව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සැකසීම චෙක් පත් ලබාදීම ආදී වංචාවන් රැසකට සම්බන්ධ තැනැත්තියක් බවත් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
කළුතර විශේෂ අපරාධ විමර්ශනය අංශය මගින් කළුතර මහාධිකරණයේ නඩුවකට වරෙන්තුද නිකුත්ව ඇති තැනැත්තියක් බව පොලිසිය කියයි.54 හැවිරිදි සැකකාරිය මාකොළ මාකොළ දකුණ පදිංචිකාරියකි.සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක හතර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක පොලිස් පරීක්ෂක හේමාල් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.