මස්කෙළිය ප්‍රදේශයේ වතුයායක තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට ලබාදීමේ මෙහෙයුමක වනජීවී නිලධාරීන් යෙදී සිටිති.
කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුම් පෙරේදා (17) හා ඊයේ (18) යන දිනවල සිදු කරමින් පැවැතිණි.
වතුයායේ සේවය කරනු ලැබු කම්කරුවන් පිරිසක් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනා තේ පඳුරු යට සැඟව සිටියදී පෙරේදා (17) සොයා ගෙන ඇති අතර, පසුව ඔවුන් එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබිණි.
පශු වෛද්‍යවරයෙකු ප්රමුඛ වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් මෙම පැටවුන් දෙදෙනා සිය කොටි මවට භාරදීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිති.
දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවවල සඟවා ආහාර සොයා ගැනීමට යන බවත්, ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසති.
මිනිසුන් ඇල්ලීම නිසා මව් සතුන් මෙම පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවත්, කොටි මව ලබාදෙන පෝෂණය සියයට සියයක් වනජීවී නිලධාරීන්ට ලබාදීමට නොහැකි බවත් ඔවුහු කියති.
තේ පඳුරු හා කුඩා කැළෑ බිම් ආශ්‍රිතව සිටියදී හමුවන කොටි පැටවුන් ඇල්ලීමට යාමෙන් වැළැකී හැකිතාත් එම ස්ථාන්යෙන් ඉවත්ව යන ලෙසත්, එසේ වුවහොත් ඉන් අනතුරුව කොටි මව පැමිණ එම පැටවුන් රැගෙන යාමට පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
ශාන් හුලංනුගේ / මස්කෙළිය- ගාමිණී බන්ඩාර ඉලංගන්තිලක
