බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.
"වර්තමානයේ දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකයම විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මේ දිනවල අප මුහුණ දී තිබෙන දැඩි හිරු රශ්මිය මීට පෙර මුහුණ නොදුන් තත්ත්වයක් බවද කිවයුතුයි. මෙම දේශගුණික උණුසුම සීමාකර ගැනීම සඳහා ඉලක්කගතව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් අද මතුවෙලා තිබෙනවා. මේ සමඟ ඌග්ර ජල ගැටලුවකට ද අපට මුහුණදීමට සිදු වෙනවා. අප බුද්ධ ධර්මයට අනුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.
ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළුව පත් වෙනවා. බුද්ධ දේශනාව අනුව සළකා බැලුවහොත් අපට මේ තත්ත්වයට මුහුණදිමට සිදුව තිබෙන්නේ ශිෂ්ටාචාරයේ තණ්හාව නිසයි. සියලුදෙනාට අවශ්‍ය වුණේ වේගවත් දියුණුවක් ලබා ගැනීමටයි. වාහන භාවිතය ඉහළ යාම නිසා පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. ඒ අනුව මානව සමාජයෙන් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ නිසා දේශගුණික විපර්යාස පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළයුතුයි.
ඒ වගේම ලෝකය අද සීග්‍ර තාක්ෂණ දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් 1945 පරමාණු බෝම්බය පුපුරා ගිය විට සිතුවේ ඉන් එහාට තාක්ෂණ දියුණුවක් සිදු නොවන බවයි. නමුත් දැන් සෑම ක්ෂේත්රයක් තුළම විශාල තාක්ෂණ දියුණුවක් සිදුව තිබෙනවා. තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. අප පාසල් යන සමයේ පරිගණක සහ ජංගම දුරකථන තිබුණේ නැහැ. නමුත් මේ වන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟ අද කෘත්‍රීම බුද්ධිය දක්වා පැමිණ තිබෙනවා.
මේ වන විට තිබෙන්නේ කෘත්‍රීම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රීම බුද්ධිය කොතනින් අවසන් වෙයිද කියන ප්රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළයුතුයි.
සියල්ල පාලනය වනුයේ අපගේ මනසින් බව බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. මනස පාලනය කළහොත් අපට ඉදිරියට යා හැකියි. මනස පාලනය කර නොගතහොත් අපට අනාගතයක් නැහැ. මනස පාලනය කිරීම පැවරි තිබුණේ මිනිසාට පමණයි. බුද්ධ දේශනය මිනිස් සංහතිය වෙනුවෙන් සිදු කළේ ඒ නිසයි. අප මනස පාලන කරගතහොත් අපට තණ්හාව දුරු කර ගත හැකියි.
මෙම මිනිස් මනසට සමානව දැන් කෘත්‍රීම බුද්ධිය පැමිණ තිබෙනවා. කෘත්‍රීම බුද්ධියට විවිධ තොරතුරු ඇතුළත් කළ හැකියි. ඒ අනුව කෘත්‍රීම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එසේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
කෘත්‍රීම බුද්ධිය වෙනත් දහමක් දේශනා කරයිද, එය බුදු දහමට තර්ජනයක් විය හැකියි. ඒ නිසා අප ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඓතිහාසික අනුරාධපුර සමයේ මෙරටට බුදු දහම පැමිණි අතර එතැන් පටන් බුදු දහමට විවිධ බලපැම් එල්ල වී තිබෙනවා. හින්දු දහම, මහායාන ධර්මය මෙන්ම දේශපාලන තත්ත්වයන් ඊට බලපා තිබෙනවා. මේ කාලයේ සිට කෘත්‍රීම බුද්ධියද එක් වෙනවා. එවිට කෘත්‍රීම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද කියා සිතිය යුතුයි. ජනතාව අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ධර්මය ඇසුරු කරන විට එහි බලපෑම් කුමක් විය හැකිද කියා සිතිය යුතුයි. මෙය බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් ද මුහුණ දී සිටින ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා කෘත්‍රීම බුද්ධිය පාලනය කිරීමටත් අප නව නීති රීති ගෙන එනවා. තාක්ෂණ වර්ධන නීති කෙටුම්පත තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර ඒ යටතේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මධ්‍යස්ථානයක් ද ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් රාජධානයේ සහ යුරෝප සංගමය දැනමටත් කෘත්‍රීම බුද්ධිය පාලනය කරන නීති රොගුලාසි ඇතුළත් කර තිබෙනවා. අපත් එය සිදු කළයුතුයි.
ඒ වගේම බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියනයක් ලබන වසරේදී වෙන් කිරීමට අපේක්ෂා කරනවා. එය මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අදාළ නීති රෙගුලාසි තවමත් සම්මත කරගෙන නොමැති නිසා එය ලබන වසරට කල් දමනු ලැබුවා. ඒ අනුව නව නීති ඉදිරිපත් කර එම කටයුතු ආරම්භ කිරීමට අප අපේක්ෂා කරනවා."