හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ජනේලයකට හිසින් පහර දී වීදුරුවක් බිද, වීදුරු කැබැල්ලකින් සිරුරේ ස්ථාන රැසක් කපාගෙන බරපතල තුවාල සිදුකර ගත් පුද්ගලයකු අයිස් මිලිග්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ගසකින් වැටී සිදුවූ අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වීදුරු කැබැල්ලක් කටේ දමාගෙන හපමින් සිටින අයුරු රෝහල් කාර්ය මණ්ඩලය දැක ඇති අතර මුඛයෙන් ලේ වැගිරෙමින් තිබී ඇති බවද පැවසේ.
ඒ අනුව ක්ෂණයකින් ක්‍රියාත්මක වී මුඛයේ දමාගන හපමින් තිබූ වීදුරු කැබලි ඉවත්කොට ඉන් සිදු වූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට සූදානම් වෙද්දී එක්වරම ඉන් මිදී පැන ගොස් මූලික ප්‍රතිකාර ඒකකයේ ජනේලයක වීදුරුවකට සැකකරුගේ හිසින් පහරදී බිඳ දමා එහි වීදුරු කැබැල්ලකින් සිරුරේ ස්ථාන රැසක් කපාගනිමින් තුවාල සිදුකරගෙන තිබූ බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී රෝහල් පොලිසිය හා කාර්ය මණ්ඩලය එක්ව මහත් පරිශ්‍රමයක් දරා කලාකාරීව හැසිරුණු පුද්ගලයා පාලනය කොට හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට භාරදී ඇති අතර පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ අයිස් මිලි ග්‍රෑම් එකක් තිබී හමුවූ බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර අනතුර හේතුවෙන් මත්ද්‍රව්‍ය පානය කිරීමට නොහැකි වීමෙන් ඇති වූ උමතු භාවය මෙසේ කලහකාරීව හැසිරීමට හේතුවක් වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර සුව වූ වහාම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න