‘මැතිවරණයේදී අපිට ආසන 125 ක් ගන්න බැරිවෙයි. හැබැයි අපට විතරක් නෙවෙයි. මේ තියෙන අනුපාත ක්‍රමය යටතේ තියෙන ඡන්ද ටික පක්ෂවලට බෙදිලා ගියාම කිසිම පක්ෂයකට ආසන 113 ක් දිනාගන්න බැහැ. හැබැයි අපිට වැඩි ආසන ගණනක් ගන්න පුළුවන්. එතකොට කවුරු බලය ගත්තත් අපි නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා.’ යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා මහියංගණය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අද අපේ බලාපොරොත්තුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබාගැනීමයි. ආණ්ඩුවක් ලැබුණත් නැතත් ආසන ප්‍රමාණවත් සංඛ්‍යාවක් ගත්තම අපි තමයි තීරණාත්මක බලවේගය වෙන්නේ. දැන් අපේ 14 දෙනෙක් ඉන්නවා. අපිට ලේසියෙන්ම හැට හැත්තෑවකට මේක වැඩිකරගන්න පුළුවන්.
මේ රටේ ප්‍රධාන පක්ෂ ඔක්කොම මේ වෙනකොට කැඩිලයි තියෙන්නේ. යූඑන්පී එක දෙකට කැඩිලා. ජනතා විමුක්ති පෙරමුණත් දෙකට කැඩිලනේ. පෙරටුගාමී එක පැත්තක, මාලිමාව තව පැත්තක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකට කැඩිලා, ටීඑන්ඒ එකත් අදවන විට දෙකට කැඩිල තියෙන්නේ. සජබත් දැන් දෙකට කැඩිලා. දැන් එක එක්කෙනා ගැලවි ගැලවිලා එනවා. මැතිවරණයක් එනකොට ඒකෙන් භාගයක් විතර මේ පැත්තේ ඉදීවි.
මේ එන මැතිවරණයේදී අපි ශක්තිමත් ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ පිළිබඳව දැනුවත් වුණාම ජනතාව ඡන්දය දීලා හොඳම කෙනෙක් ජනාධිපති විදිහට පත්කරගනියි. අපිත් ඒ වෙලාවෙදි තීන්දුවක් ගමු. මේ රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ජනාධිපතිවරයෙක් පත් කරගන්න අපිත් කටයුතු කරමු.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබුණු නඩු ප්‍රමාණය අපි දැක්කනේ. පාස්කු ප්‍රහාරය එකක්. අර කෙනෙකුට ජනාධිපති සමාව දීලා ඒකෙනුත් අමාරුවේ වැටුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරා කියලා සල්ලි ගෙවන්නත් වුණා. ඉතින් එහෙම කෙනෙක් තියාගෙන පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බැහැනේ. මම පක්ෂයට අවුරුදු ගාණක් දරදිය ඇදලා මැතිණියගේ ප්‍රජා අයිතියත් ලබාදෙන්න කටයුතු කරලා, පක්ෂ සාමාජිකත්වයත් නැති විජේදාස රාජපක්ෂ කියලා කෙනෙක් පක්ෂයේ සභාපති කළා.
පක්ෂ සාමාජිකත්වයවත් එතුමාට නැහැ. මුලින් කිව්වේ ආණ්ඩුවේ ඉන්න අය එක්ක ගණුදෙනුවක් නැහැ කියලා. ආණ්ඩුවෙන් අස්වෙලා එන්න කිව්වා. එහෙම කියලා පක්ෂයේ සභාපතිකම ආණ්ඩුවේම ඉන්න ඇමතිවරයෙකුට දුන්නා. පොහොට්ටුවේ සාමාජිකයෙක් එයා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ සාමාජිකයෝ. අපි නඩු අටක් පැවරුවා. ඒ නඩු අටම අපි දිනලා තියෙනවා. ඒගොල්ලන් එක නඩුවක් දාලා තාවකාලික ජයග්‍රහණයක් ලබලා තිබුණා. දැන් ඒ නඩුවත් එක්ක අපි නඩු නවයම දිනලා ඉවරයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි.
මැතිවරණයේදී අපිට ආසන 125ක් ගන්න බැරිවෙයි. අපට විතරක් නෙවෙයි, මේ තියෙන අනුපාත ක්‍රමය යටතේ තියෙන ඡන්ද ටික පක්ෂ වලට බෙදිලා ගියාම කිසිම පක්ෂයකට ආසන 113ක් දිනාගන්න බැහැ. හැබැයි අපිට වැඩි ආසන ගණනක් ගන්න පුළුවන්. එතකොට කවුරු බලයට ආවත් අපි නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. ඒ නිසා අපි පරාජයට පත් වෙන්නේ නැහැ. අපි සියලු දෙනා එකතුවෙලා පක්ෂය ශක්තිමක් කරගෙන ඉදිරියට යා යුතුයි.”
හාලිඇල- විජේරත්න රත්නායක