රටේ උද්ඝෝෂණ ඇතිව තිබෙන්නේ මහජන නියෝජිතයින් ජනතාව සමග නොසිටීම හේතුවෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බද්දෙගමදී කීවේය.
බද්දෙගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ පැවති ගාලු දිස්ත්‍රික් ආසන සංවිධායකයින්ගේ රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී සිරිසේන මහතා එසේ කීවේය.
“අද රට වටාම ගුරු, ගොවි ඇතුළු අනෙක් පාර්ෂවයන් අතර උද්ඝෝෂන ඇති වෙලා රැල්ලක් වගේ යනවා.මේවාට වගකිවයුත්තේ මහජන නියෝජිතයිනුයි.ඔවුන් ජනතාව අතරට යන්නේ නැහැ.ජනතා ප්‍රශ්න හදුනාගෙන ඔවුන් සමග කතා කරන්නේ නැහැ.එක එක පක්ෂ විවේචනය කරමින් ඉන්න එකයි කරන්නේ.
රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
අපි දිස්ත්‍රික්ක මට්ටමින් ගොස් අපේ පක්ෂයේ ඉදිරි කටයුතු සංවර්ධනය කරමින් සිටිනවා.මේ රටේ කිසිම පක්ෂයකට තනි ගමනක් යන්න බැහැ.තනියෙන්ම ආණ්ඩුවක් පිහිටු වන්නත් බැහැ” යයි ද සිරිසේන මහතා කීවේය.
සුසිල් ප්‍රියන්ත/රවීන්ද්‍ර