ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් කොරියානු රජයේ ආධාර මත ඉඳිකරන සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කිරිඉබ්බන්වැවේ ස්ථාපිතකෙරෙන පාවෙන සූර්ය විදුලි බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතින බව ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති වරලත් ඉංජිනේරු රංජිත් සේපාල මහතා පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වැයකොට ඉඳිකෙරෙන මෙම ව්‍යාපෘතියෙන් මෙගාවොට් එකක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මහවැලි සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදෙන අතර වැවේ අක්කර දෙකහමාරක සූර්ය පැනල සවිකෙරේ.
මෙම ව්‍යාපෘතිය මඟින් වැවේ මිරිදිය ධීවර කටයුතු වල නිරත වන ධීවරයින්ට අවශ්‍ය පහසුකම් සැපයෙන අතර අවට ගම් වලට යටිතල පහසුකම්ද ලබාදීමට නියමිතය.
ප්‍රදේශවාසීන්ට මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි බලය සහ මහා මාර්ග පහසුකම් සැපයෙන අතර කිරිඉබ්බන් වැවේ ප්‍රධාන වේල්ලද ප්‍රතිසංස්කරණය කෙරේ.
2024 මාර්තු මස විසිඑක් වෙනිදින ඉඳිකිරීම් ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය,පර්යේෂණ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන අතර ව්‍යාපෘතියේ ප්‍රගතිය මත වෙනත් ප්‍රදේශ වලට මෙවැනි ව්‍යාපෘති ව්‍යාප්තකිරීමට පියවර ගැනේ. දැනටමත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් තවත් මාස තුනක් වැනි කාලයකදී නිමකිරීමට සැලසුම්කර ඇත
මොණරාගල සුමනසිරි ගුණතිලක