'ආරංචිය සුබයි' යනුවෙන් ප්‍රචාර යවමින් පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයෙන් නැවතත් රට බංකොලොත් භාවයෙන් මුදා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
පසුගිය වසරේ රට බංකොලොත් භාවයෙන් මුදාගත් බව පවසා බදු වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කළ බවත්, ඒ අනුව මෙවරද මන්දිර බද්ද ඇතුළු තවත් බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරනු ඇති බවට බියක් තිබෙන බවත් අද (24දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"අපිට ආරංචි වෙනවා අනිද්දා විශේෂ දෙයක් වෙන්න යනවා කියලා. අද දවසේ අපි දැක්කා මුලු කොළඹ නගරය පුරාම නවතම පෝස්ටර් කැම්පේන් එකක් දාලා තියෙනවා 'ආරංචිය සුබයි' කියලා. මේ සුබ ආරංචිය මොකක්ද කියලා අපි සොයාගෙන යනකොට ආරංචි වෙනවා ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා හමුවෙලා දැනුම්දීමක් කරලා, ජාතිය අමතා ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න යනවලු බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා කියලා. මේ ආකාරයටම ජනාධිපතිතුමා ගිය අවුරුද්දේ මාර්තු 21වැනිදා ජාතිය අමතා ප්‍රකාශයක් කළා රට බංකොලොත් භාවයෙන් මුදාගෙන තියෙන්නේ, දැන් සාමාන්‍ය තත්ත්වයට ගෙනියන්න පුළුවන් කියලා.
එහෙම ප්‍රකාශයක් කළාම මොකක්ද වුණේ? වැට් බද්ද වැඩි කළා, බදු වැඩි කරලා බඩු මිල වැඩිකරලා ජනතාවගේ බෙල්ල මිරිකනවා වගේ තත්ත්වයක් තමයි උදා වුණේ. ඊට පස්සේ කරන්ට් බිල වැඩි කළා, වතුර බිල වැඩි කළා, ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කළා. මට නම් මේකත් එක්ක විශාල බයක් ඇතිවෙනවා. ගිය අවරුද්දේ මාර්තු මාසයේ බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා කියලා කියනවා නම්, නැවත බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා කියලා රඟපාන්න දෙයක් තියෙනවාද? කැවුම් කිරිබත් කන්න දෙයක් තියෙනවාද? මට බය තියෙන්නේ ගිය පාර කළා වගේම මේ පාරත් ඇවිල්ලා මුදවා ගත්තා කියලා බොරුවක් දාලා අර ගෙවල් වලට බද්ද දාන්නද කොහේද මේ හදන්නේ. තව මොනවා වැඩි කරන්න යනවාද දන්නේ නෑ. ඒ තත්ත්වය තුළ ජනතාවට ජීවත් වෙන්න නෙවෙයි මැරෙන්න තමයි සිදුවෙන්නේ."