අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා කැලණි වැලි දුම්රිය මාර්ගය පැරණි මාර්ගයේම ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා කීවේය.
දුම්රිය මාර්ගයේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30 ක් පමණ වැය වෙතැයි පැවසූ ප්‍රේමතිලක මහතා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියානු රජය සමඟද සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ නිසා දුම්රිය දෙපාර්මේන්තුවට අයත් ගොඩනැගිලිවල පවත්වාගෙන යන රාජ්‍ය ආයතන අලුත් වැඩියාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවත් දුම්රිය රක්ෂිත සඳහා ලබා දුන් බලපත්‍ර සඳහාද කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේය .
දශක පහකට පෙර ඉවත් කළ පැරණි කැලණි වැලි දුම්රිය මාර්ගයේම නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිත අතර ඒ සඳහා සැලසුම් සකස් කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය .ඔහු මේ බව පැවසුවේ ඉකුත් 13 දින පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ කැඳවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමතිලක මහතා පැවසුවේ මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වාද, දෙවැනි අදියර ලෙස රත්නපුර සිට කහවත්ත දක්වාද, තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය, සූරිය වැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වාද ඉදිකිරීමට යෝජිත බවය.
1970 දශකය දක්වා කොළඹ සිට ඕපනායක දක්වාම දුම්රිය ධාවනය කර ඇත.මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ගැනෙන අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වාම මේ වන විටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර ඇතැයි ද ඉංජිනේරුවරයා සඳහන් කළේය .
දුම්රිය ස්ථානද බොහොමයක් හඳුනාගෙන ඇති බවත් මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කරන බවත් ඔහු පැවසීය.
මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර අවසන් කළ පසු දෙවැනි අදියර ලෙස රත්නපුර - කහවත්ත දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර තුන්වැනි අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින්ම යෝජිත දුම්රිය මාර්ගයකි. ඒ අනුව තුන්වැනි අදියර සඳහා විශේෂ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්කවල මහජනතාවටද සංචාරක කර්මාන්තයටද සුවිශාල පහසුවක් වනු ඇතැයි රතනපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා පැවසීය .
රතනපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා/ඒ.ජී. වික්‍රමසිංහ