මොනරාගල හා අම්පාරේ රක්ෂිත වනාන්තර 211 කට අයත් හෙක්ටයාර 49000 ක් ගැසට් කර අයිතිය තහවුරු කරගෙන නෑ..
කැබලිත්තේ අක්කර 25,000 ක් ම දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැරවෙලා
කඩිනමින් මිනුම් කර ගැසට් කරන ලෙස විගණනයෙන් නිර්දේශ කරයි.
මොනරාගල සහ අම්පාර දිස්ත්රික්ක දෙකෙහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවතින රක්ෂිත වනාන්තර 211 කට අයත් හෙක්ටයාර 48550 ක වනබිම් ප්රමාණයක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් නොකිරීම හේතුවෙන් මෙම වනාන්තර ආශ්රිතව අනවසර ඉඩම් අල්ලා ගැනීම් බහුල වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මොනරාගල දිස්ත්රික්කයේ වනාන්තර 147 කට අයත් හෙක්ටයාර 25882 ක් 2021 සිටද , අම්පාර දිස්ත්රික්කයේ වනාන්තර 64 කට අයත් හෙක්ටයාර 22658 ක ප්රමාණයක් 2019 සිටද තවමත් මෙලෙස ගැසට් මගින් ප්රසිද්ධියට පත්කර නොමැති බව විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම තත්වය හේතුවෙන් දිගු කලක සිට මොනරාගල දිස්ත්රික්කයේ කැබලිත්ත රක්ෂිතයේ පමණක් අක්කර 25,000 කට ආසන්න වනාන්තර බිම් ප්රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයෙන් බැහැර කිරීමට සිදුව ඇතැයිද විගණනය පෙන්වා දෙයි.
මෙකී වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ප්රසිද්ධියට පත් නොකර රක්ෂිත බවින් නිදහස් කිරීමට සිදුවීමෙන් පවතින ස්වාභාවික වනගහන ප්රතිශතය ක්රමයෙන් පහළ බැසීම තුළින් තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද විගණනයෙන් පෙන්වාදෙයි.
මේ අනාවරණය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිතුරු සපයා නැති අතර මෙකී රක්ෂිතයන් මැනීම හා ගැසට් මගින් අයිතිය තහවුරු කර ගැනීමේ ක්රියාවලිය කඩිනම් කර වන විනාශය මගහරවා ගත යුතු බවට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.