කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය 05/01 දින සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග සවස 05.00 සිට ඔවුන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් දැඩි විරෝධයක් පළ කරන්නට වීමෙන් උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබේ .
මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
ඔවුන් ඒ සදහා ඉන්දියාව , චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30 කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද , අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණි .
එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණි .
එහෙත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද අය කිරීම සිදු කිරීම ආරම්භ කර තිබේ .
මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු ( Service Charge ) සහ පහසුකම් සැළසීමේ ගාස්තු ( Convenience Charge ) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබේ .
ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 ක් බවට පත් වී ඇති අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙකු පැවසීය .
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් මිලියන 20,000 ක ආදායමක් හිමි වන බැව් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය .
මෙම පසුබිම යටතේ ඊයේ දින පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබූනු අතර ඒ අතරතුර විදෙස් සංචාරකයන් ප්‍රකෝප වී උණුසුම්කාකාරී වාතාවරණයක් ද ඇති වී තිබුණි .
යළිත් රාත්‍රී 09.00 පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී කළහකාරී ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .