කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් මගියෙකුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක්දහසක් පමණ වටිනා ගමන් මල්ල සොරා ගත් එම ගුවන් යානයෙන්ම පැමිණි ගෘහ සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන 08/28 දින සවස අධිකරණයට ඉදිරිපත් කර තිබේ .
මොවුන් දෙදෙනා ඉකුත් 08/16 දින උදෑසන 09.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කටාර් රාජ්‍යයේ සේවය නිම කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ද මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ අතර , ඔහුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක් දහසක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග තවත් වටිනා දෑ අඩංගු සිය ගමන් මල්ල ලබා ගැනීම සදහා පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු නිශ්කාශන ස්ථානයට පැමිණ තිබේ.
එහෙත් ඒ වනවිට එම ගුවන් යානයේම පැමිණි සේරුවාවිල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ගෘහ සේවිකාවක්, එම ගමන් මල්ල රැගෙන පලා ගොස් තිබුණි.
මෙම කාන්තාවට මැදපෙරදිග රටවල් 05 ක් සදහා පැමිණීම තහනම් කරමින් නියෝග පනවා තිබූ අතර ඇය ඉකුත් 08/14 දින කටාර් රාජ්‍යයේ රැකියාවක් සදහා පිටත්ව ගොස් තිබේ. එහෙත් ඇය එරටින් ද පිටුවහල් කිරීම නිසා 08/16 දින මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙසේ තම ගමන් මල්ල නැති වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ගොස් පැමිණිලි කර තිබෙන අතර, පොලිසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ගමන් මල්ල සොරා ගත් කාන්තාව හදුනා ගෙන තිබේ .
ඒ අනුව ඉකුත් 08/28 දින කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය විසින් සොරා ගත් ගමන් මල්ල ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ . එහෙත් එහි තිබූ ස්වර්ණාභරණ තොගය එහි නොතිබුණු අතර ඒ පිළිබඳව සිදු කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව එම ස්වර්ණාභරණ උගස් කර ලබා ගත් රිසිට් පත් ඇය විසින් පොලිසියට භාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාව 08/28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර , එහිදී ඇය 09/01 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .