මේ වසරට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන රුපියල් බිලියන විස්සක මුදලින් තවමත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන හයක මුදලක් පමණක් බවත් මේ වන විට ඖෂධ තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
වර්ෂයේ පළමු මාස තුනට තොග මිලට ඖෂධ මිලදීගැනීම් නිසි ලෙස සිදුකර නොමැති බවත් මේ නිසා සිල්ලර මිලට මිලදී ගැනීම අවස්ථා හත්සිය විස්සක්පමණ සිදුකර තිබෙන බවට වාර්තා වන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
පිළිකා ඖෂධ, හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ඖෂධ, කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ඇතුළු සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් ක්‍රමයක් ක්‍රමයෙන් හිඟ වෙමින් තිබෙන බවත් මේ නිසා සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවද පැවසීය.
සාමාන්‍ය තොග මිලට මිලදී ගැනීම වෙනුවට සිල්ලර මිලට ප්රාදේශීයව ඖෂධ මිලදී ගැනීමෙන් විශාල මුදල් අවභාවිතාවක් හා අධික මුදලක් වැය වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේදීඖෂධ තොග සැපයු සැපයුම්කරුවන්ට විශාල මුදලක් ගෙවීමට තිබෙන බවත් මේ ආකාරයට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා ඖෂධ තොග සැපයීම්කටයුතුවලට බාධා සිදුව තිබෙන බවත් මේ නිසා ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවද පැවසීය.