2015 ජනවාරි 08 වනදා රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම අත්දැකීම් අමතක වී ගිය උදවිය වර්තමානයේදී නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ අද (21දා) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප්රජාතන්ත්රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවදය සමග යන ගමනක් බව ඔවුන් සියලුදෙනා අවබෝධ කරගතයුතු බවද පැවැසීය.
ලැබී ඇති නිදහස සහ ප්රජාතන්ත්රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලුදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බවද සඳහන් කළේය.
පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප්රජාතන්ත්රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග්‍රහණ රැසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.
