රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට හිටපු කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බන්ධිත ගුදම් පහසුකම යටතේ වාහන උපාංග එකලස් කර නිපදවූ මෙම වාහන ගුදමින් මුදාහරින විට ඒවා ආනයන භාණ්ඩ සේ සළකා තීරුබදු ගණන් බැලීම හා ගෙවීම සිදුකළ යුතු වුවත් එසේ නොකර දේශීයව සියයට 30 කට නොඅඩු අගයක් එකතුකර නිපදවන වාහන සඳහා ලබාදෙන සියයට 70 ක නිෂ්පාදන බදු සහනය කොටස් එකලස් කර නිපදවා දේශීය වෙළඳපොලට නිකුත් කර තිබූ එම වාහන 326 නිපදවූ සමාගම් දෙකකට ලබා දීමෙන් රජයට මෙම ආදායම අහිමිවී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම වාහන වෙනුවෙන් රුපියල් 350,432,000 ක බදු මුදලක් අයකළ යුතු වුවත් රේගු නීති රීති නොසලකා අමාත්‍යවරයාගේ නිර්දේශ පමණක් සළකා එම බදු මුදල රුපියල් 246 ,628 800 ක් දක්වා අඩුකිරීමෙන් මෙම පාඩුව රජයට සිදුවී ඇතැයි විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම කරුණ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතිබව රේගුව විසින් විගණනය වෙත දන්වා සිටී.
ජේ.ඉඳුරුවගේ