චීවරධාරියෙකු හා එක්ව මත්පැන් පානය කිරීමේ යෙදී සිටි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකු චීවරධාරියාගේ ප්‍රහාරයකට ලක්ව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලීසිය කියයි.
ඊයේ (08දා) රාත්‍රියේ මෙසේ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇත්තේ
ගිරිඋල්ල පොලිස් වසමේ මාරවිටගල්ගොඩේවත්ත මාරවිට,දඹදෙණිය ලිපිනයේ පදිංචිව සිටි රුවන්පුර අන්දිරිස් සිල්වලාගේ ඇල්බටි සිංඤ්ඤෝ (72)නමැත්තෙකි.
ස්ථිර වාසස්ථානයක් නොමැති චීවරධාරියා කජුලන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටිබවත් ඔහු මිය ගිය පුද්ගලයා සමග මත්පැන් පානය කිරීමේ යෙදී සිටියදී ඇති වූ බහින්බස්වීමකින් පසු මෙසේ ප්‍රහාරයට ලක් වී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
පහරදීම හේතුවෙන් තුවාලකරු දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
සැකකාර චීවරධාරියා සිදුවීමෙන් පසු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
සැකකරු නිවසේ තනිව ජීවත් වී ඇති අතර, හිමිනමගේ මව සහ වැඩිමහල් සහෝදරයා ඥාති නිවසක වෙනම ජීවත්ව සිට ඇත.ඝාතනයෙන් පසුව මව සහ වැඩිමහල් සහෝදරයා තමන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුවූ ස්ථානයේ තිබූ ලේ පැල්ලම්ද ඔවුන් දෙදෙනා විසින් සෝදා තිබූ බව පොලීසිය පවසයි.
අදාළ සැකකාර හිමිනම මහණභාවය ලැබීමට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධව වරදකරු වී බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලීසිය පවසයි.
නාරම්මල වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා මූලිකමහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කර මරණයට හේතුව ලබා ගන්නා ලෙසට ගිරිඋල්ල පොලීසියටනියෝග කර ඇත.
පලාගිය සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මීරිගම කාන්ති