රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් ඊයේ (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය.
මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කර තිබූ රෙගුලාසිවලට අනුකූලව, ආනයනික භාණ්ඩවල ප්‍රමිතීන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. තවද, ආනයනය කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර ඒවා ප්‍රමිතියෙන් යුතු බවට සහතික කර ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග සැලකිල්ලට ගනිමින්, උන්ඩියල් (Undial) සහ හවලා (Hawala) ක්‍රියාකරුවන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු තිබේද, සහ මෙකී ක්‍රම මගින් ඇති වන ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය විධිමත් කර තිබේද යන්න කාරක සභාව, පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලෙස නිලධාරීන් කියා සිටියේ උන්ඩියල් (Undial) සහ හවලා (Hawala) ක්‍රියාකරුවන්ට මහ බැංකුවේ ලියාපදිංචි වන ලෙස දැනුම්දී ඇති බවත්, ක්‍රියාත්මක වීම සඳහා එවැනි පුද්ගලයින් සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීමට පෙර ලියාපදිංචි වීම සිදුකළ යුතු බව යි. ඒ අනුව කාරක සභාව රෙගුලාසි අනුමත කළ අතර, ඉහත කී මුල්‍ය කටයුතු හේතුවෙන් ඇති විය හැකි අවදානම් සහ වාසි පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග සැලකිල්ලට ගනිමින් කාරක සභා සාමාජිකයන් තීරණය කළේ ඒ සඳහා අනුමතිය ලබාදීමට පෙර එ් පිළිබඳව තවදුරටත් විමසා බැලිය යුතු බවයි. මෙම නියෝග ලෝක බැංකුව සමඟ එකඟ වූ පරිදි අතිරේක බදු (para-tariffs) ඉවත් කිරීම සහ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු සැලැස්මේ කොටසකි.
තවද, 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග අනුමත කළ කාරක සභාව, විධිමත් කැසිනෝ නියාමන ක්‍රමවේදයක් පිහිටුවීමට පසුගිය වසර 2 පුරාවට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිවී පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.
කාරක සභාව විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගය සහ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග සලකා බැලීමෙන් පසුව අනුමත කරන ලදී. මෙමඟින් ඕනෑම ලැයිස්තුගත සමාගමකට ශ්‍රී ලංකාවෙන් පිටත ඇ. ඩොලර් 500,000 ක් දක්වා සහ ලැයිස්තුගත නොකළ සමාගමකට ඇ. ඩොලර් 150,000 ක් දක්වා ආයෝජනය කිරීමට හැකියාව ලැබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.