නත්තල ඇතුළු එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ඇති ආහාර පරිහරණ ආයතන සියල්ල පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,
“වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලිඛිතව සහ වාචිකව අපට උපදෙස් ලබා දී තිබෙනවා දිවයින පුරා තිබෙන සියලුම ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කරන ලෙස. ඒ අනුව දෙසැම්බර් මස 01වැනිදා සිට සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමුන්ගේ රාජකාරි කොට්ඨාසය තුළ මෙම පරීක්ෂා කිරීම සිදුකරනවා.
උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාරද, එම ආහාර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසකාරක සහ වර්ණක පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරන්න කටයුතු කර තිබෙනවා. එමෙන්ම පොල්තෙල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසට සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර තිබෙනවා.
එමෙන්ම මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරවල පිහිටි හෝටල්, බේකරි සහ ආපන ශාලාවල ගුණාත්මක තත්ත්වය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරන්න කටයුතු කර තිබෙනවා. මේ සියල්ල සිදුකරන්නේ මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාරපාන ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන්.
ආහාර පනත උල්ලංඝනය කරන කවරෙකුට වුණත් තරාතිරම නොබලා අධිකරණය හමුවේ නඩු පැවරීමටත් අපි කටයුතු කරනවා. ඒ අනුව ආහාර අලෙවි කරන සියලුම ව්‍යාපාරිකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මහජනතාවට සුරක්ෂිත ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලෙසටයි.” යැයිද පැවසීය.
කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි