කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්රවේශපත්ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.
මෙම පුද්ගලයා එම ගමනාන්තය සඳහා රුපියල් 1200කට මිලදී ගන්නා ප්රවේශපත්රයක් විදේශීය සංචාරකයන්ට රුපියල් 13,000ක මුදලකට අලෙවි කොට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මාස 05ක කාලයක් තුළදී අවස්ථා 92කදී ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් දුම්රිය ප්රවේශ පත්ර වෙන්කරවාගෙන තිබෙන බවත් ඊට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්ද භාවිතා කරමින් දුම්රිය ප්රවේශපත්ර මිලදීගෙන ඇතිි බවයි.
දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට එම පුද්ගලයා කොටුවන විට රුපියල් 1200ට මිලදී ගත් ප්රවේශ පත්ර පහක් එක් ප්රවේශපත්රයක් රුපියල් 13,000ක මුදලකට අලෙවි කොට තිබී ඇතිර විදේශීය සංචාරකයන් අපහසුතාවයට පත් නොවන ආකාරයට එම මුදල් ආපසු තැරැව්කරුවාගෙන් ලබාගෙන විදේශකයන්ට ලබා දීමට පියවරගත් බව දුම්රිය ආරක්ෂක අංශ කාර්යභාර නිලධාරි යු.ජී. පුංචි බන්ඩා මහතා පැවසීය.
දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ භාරයට පත් වූ සැකකරු මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලිසියට භාරදීමට පියවර ගත් බව මහනුවර දුම්රිය ස්ථානාධිපති රංජිත් රත්නායක මහතා පැවසීය.