රජයේ අස්වැසුම සහනාධාරය ලබාදීමේදී ඉහළ ආදායමක් උපයන,කුඹුරු,යාන,වාහන තිබෙන අයවලුන්ටත් අස්වැසුම ප්‍රතිලාභය ලබාදීම තුළ තමන්ට එම අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වැසුම නොලැබූ හා අස්වැසුමේ අඩු ප්රතිලාභ ලබන ප්‍රතිලාභීන් චෝදනා කරති.
දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැලි වැලිමංකඩ හිමි, කැනීම් යන්ත්‍ර සූත්‍ර තිබෙන,යාන වාහන තිබෙන අයවලුන්ට පවා අස්වැසුම ලබාදී ඇති බවත්,විශාල ආදායමක් ලබන ඔවුන්ට අස්වැසුම ලබාදී ඇත්තේ කුමන නිර්ණායක පදනම් කරගෙනද යන්න අඩු ආදායම්ලාභී පවුල් ප්‍රශ්න කරති.
ඇතැම් ගම්මානවල පොලියට මුදල් ලබාදෙන අයවලුන්ටත්, මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන ව්‍යාපාරිකයන්ටත්
මෙම අස්වැසුම් ප්‍රතිලාභය ලබාදී ඇති අතර බොහෝ ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත පවුල්, මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පවුල්වලට, මව හෝ පියා අහිමි දරුවන් සිටින පවුල් වලට අස්වැසුම නොලැබෙන බවත්, එවැනි ඇතැම් පවුල්වලට ඉතා අඩු අස්වැසුම ප්‍රතිලාභය ලබාදී ඇති බවද දිඹුලාගල, තමන්කඩුව, සහ වැලිකන්ද කොට්ඨාශයේ අස්වැසුම නොලැබූ බොහෝ දෙනාම චෝදනා කරති.
අස්වැසුම ප්‍රතිලාභය ලබා දී ඇති නිර්ණායක පදනම් කරගනිමින් සුදුස්සාට ප්‍රතිලාභය ලැබෙන නිර්ණායක සකස් කිරීමට සහ එය මහජනතාවගේ දැනගැනීමට ප්‍රදර්ශනය කරන ලෙසටත්, සුදුස්සාට පමණක් අස්වැසුම ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසද ප්‍රදේශයේ අස්වැසුම නොලැබූ ප්‍රතිලාභීන් ජනාධිපතිවරයාගේ සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.
අස්වැසුම නොලැබූ ප්‍රතිලාභීන් නඟන චෝදනා සම්බන්ධව සහ අසාධාරණ අයුරින් අස්වැසුම ලබා සිටින අයවලුන් පිළිබඳව අප ජාතික ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,අස්වැසුම යනු පසුගිය ආණ්ඩුවේ ඡන්ද මෙහෙයුමක් බවත්, අස්වැසුම ප්රතිලාභ ලබාදීම සඳහා සැකසූ නිර්ණායකවල විශාල අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, සැබවින්ම අස්වැසුම ලැබීමට සුදුසු ප්‍රතිලාභීන්ට වර්තමානයේ අස්වැසුම ප්‍රතිලාභය නොලැබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැසුම ලබාගැනීමට ආරම්භ කරපු බැංකු ගිණුම්වලින් ඔවුන් මුදල් ලබා නොගෙන ස්ථිර ඉතිරි කිරීම් වශයෙන් එය පවත්වාගෙන යන බවට තමාට තොරතුරු ලැබී තිබෙන බවද කී,සරත් මහතා, සුදුස්සාට අස්වැසුම ලබාදීමට හැකි චක්‍රලේඛනයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික මට්ටමේ පැවැත්වෙන රැස්වීමේදී අදාළ අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සුදුස්සාට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ ක්‍රමවේදය සකසන බවද ප්‍රකාශ කළේය,