ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කන්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කොටසමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 09 දින ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබධව පැමිණිල්ලක් ද කල බව කියයි.
මහවැලි අධිකාරිය මගින් මීට පෙර තහනම් කර තිබූ සංචාරක හෝටලයක් නැවත ඉදිකරමින් පවතින බවත් එහෙම හෝටලයට සුන්දර කණ්ඩලම වැව දර්ශනය වීම සඳහා අක්කර ගණනාවක් සම්පූර්ණයෙන්ම ගස් වැල් කපා විනාශ කොට වැව් රක්ෂිතයේ තිබූ ඉපැරණි කළු ගල් සම්පූර්ණයෙන්ම යන්ත්‍ර සූත්‍ර දමා ගලවා ඒවා හෝටලයේ විවිධ ඉදිකිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවද කන්දලම ජලාශ වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති කේ .ජී. රංජිත් උපුල් කුමාර මහතා චෝදනා කළේය.
ගොවි සංවිධානයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි 09 දින පස්වරුවේ සුන්දර කන්ඩලම වැව් ඉස්මත්තට යනවිට දැකගැනීමට හැකි වූයේ එහි තිබූ වසර දහස් ගණනාවක් සිට පැවැති ගස් වැල් සියල්ල බිමට සමතලා කොට ගිනි තැබීම සඳහා සූදානම් කර තිබූ මුඩුබිමක් බව ගොවිසංවිධාන නියෝජිතයෝ මාධ්‍යවේදීන් වෙත පෙන්වා දෙමින් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ මෙම සංචාරක හෝටලයේ ඉදිකිරීම් කරන පිරිසක් ගොවි සංවිධානයෙන් මේ පිළිබඳව විමසීමේදී ඉහළ නිලධාරීන්ගේ ලැබුණු නියෝගයක් පරිදි මෙම මහා අපරාධය සිදුකළ බවට ඔවුන් පුරසාරම් දොඩන බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැව ඉස්මත්ත වැව්රක්ෂිතය මායිම් කොට සලකුණු කර තිබියදී එම සලකුණු කරනු ලැබූ මායිම් ගල් පවා ගලවා සංචාරක හෝටලේ ඉදිකිරීම් වලට මදක් දුරින් නැවත සිටුවා මෙම මහවැලී වැව් රක්ෂිතයේ ඉදිකිරීම් කරන බවද ඔවුහු චෝදනා කරන්නට විය.
අතීතයේ සිට මෙම ස්ථානයේ ගල්තලාවක නිධානයක් ලබා ගැනීම සඳහා සූදානමක් තිබුණු බවත් ඒ අනුව යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එම බිම් කඩේ ඇති ගල් සියල්ල කඩා සංචාරක හෝටලයේ ඉදිකිරීම් වලට ලබා ගැනීම සිදුකරන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
වසර සිය දහස් ගණනාවක් පැරැණි කුබුක්, නබඩ ,බුරත, ආදී ගස් හා ඉතා පැරණි මහා විශාල වැල් ගිනි තැබීමට ඇද දමා ඇති බවද ඔවුන් පෙන්වා දුන්හ එමෙන්ම සුන්දර කණ්ඩලම ජලාශයේ ඉතාම සුන්දරම වන වියන සහ වසර ගණනාවක් පැවැති මහා විශාල වැල් වර්ග රැසකින් තුරු වියනක් ලෙස අලංකාරව තිබුණු බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
එතරම් අලංකාරව පැවතී මෙම වන වියන සිත් පිත් නොමැතිව දින දෙකක් ඇතුළත ඉහළින් ලැබුණු නියෝගයකට විනාශ කළේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
ගොවි සංවිධානයේ නගන මෙම චෝදනාව පිළිබඳව ඉදිකරමින් පවතින සංචාරක හෝටලයෙන් විමසීමට යද්දී එක් අයෙකු කියා සිටියේ තමන් කොන්ත්‍රාත්කරු පමණක් බවය .ඔහුගෙන් ලබා ගත් දුරකථන අංකය අනුව මෙහි වැඩපාලකවරයා ලෙස කටයුතු කරන මහින්ද නමින් හඳුන්වන පුද්ගලයාගෙන් අප මේ පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයන් කියා සිටියේ මහින්ද නැමති පුද්ගලයා මෙම ස්ථානයේ ගස්කොළන් කපා දැමීමට මූලික වූ බවය. ඔහුට ඉහලින් නියෝගයකින් මේවා කැපූ බවට පුරසාරම් දෙඩු බවද ගොවි සංවිධානයේ සභාපති රංජිත් උපුල් කුමාර මහතා චෝදනා කළේය.
අප මේ පිළිබඳව බෝවතැන්න ජලාශ භාරයේ ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට මේ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ජලාශ භාර නියුජිතයා දඹුල්ල පොලිසියට යවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවය, වහාම තමන් 10 දින උදෑසන විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද ඒ මහතා සඳහන් කළේය.