ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ඉකුත් 07/06 දින එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක බලා පැමිණෙමින් සිටියදී , ගුවන් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න වීම නිසා හදිසියේම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට සිදුව තිබේ.
මෙසේ ඉන්ධන අවසන්වීමට ආසන්න වී ඇත්තේ මෙම ගුවන් යානය කුවේට් ගුවන් ගමන් කලාපයේ සිට වෙනත් විකල්ප දීර්ඝ ගුවන් ගමන් මාර්ගයකින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුවීම නිසා බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
එංගලන්තයේ ලන්ඩන් නුවරින් පිටත්වී සුපුරුදු ගුවන් ගමන් මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටි මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය, කුවේට් ගුවන් සීමා කළාපයට සමීප වෙමින් සිටියදී , එරට ප්‍රාථමික රේඩාර් පද්ධතිය ක්‍රියාවිරහිත වී තිබීම නිසා, මෙම ගුවන් සීමා කළාපය මග හැර දීර්ඝ ගුවන් ගමන් මාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වී තිබේ.
මෙම ගුවන් ගමන සදහා ඇස්තමේන්තු කර, සුපුරුදු පරිදි මෙම ගුවන් යානයට ලබා ගෙන තිබූ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් ප්‍රමාණවත් නොවීම නිසා, මෙම ගුවන් යානයේ නියමුවන්ට මෙසේ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා, මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සිදු වී තිබේ .
ඒ අනුව මෙම ගුවන් යානයේ ගමන්ගත් ගුවන් මගීන් , ගුවන් යානා කාර්යය මණ්ඩලය සහ ගුවන් යානය අවධානමට ලක් නොවී කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වීමට හැකි වී තිබේ.
මෙම සිදුවීම පිළිබඳව ඉන්දීය සහ තවත් ජාත්‍යන්තර සමාජ මාධ්‍ය විවිධ අදහස් දක්වා තිබීම නිසා , ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කිරීම සදහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_815eaa974f.jpg)