ශ්‍රී ලංකා තරුණයන් සිවු දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා, ISIS දිවුරුම දුන් දෙදෙනෙක්, ISIS ලාංඡනය සහිත කොඩිය රු.2000කට සෑදූ පුද්ගලයා හා මුදල් හුවමාරු කළ දෙදෙනෙක් ඒ අතර
මුල් දිවුරුම දුන් දෙදෙනෙක් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කළ නිසා තවත් දෙදෙනක් සමග දෙවැනි දිවුරුමකුත් දීලා
ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ වන විට පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වෙයි.
ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා ඉන්දියාවට යැවීමට සම්බන්ධීකරණය කළ පුද්ගලයා, ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාට දිවුරුමක් ලබාදීමට ISIS ලාංඡනය සහිත කොඩිය සැකසූ පුද්ගලයා, මුල් අවස්ථාවකදී අදාළ දිවුරුම දුන් පුද්ගලයන් දෙදෙනෙක් හා මොවුන් සමග මුදල් ගනුදෙනු කළ මාවනැල්ලේ පුද්ගලයන් දෙදෙනෙක් ද ඒ අතර වෙති.
දිවුරුම ලබාදීමට ISIS ලාංඡනය සහිත කොඩිය සකසා ඇත්තේ රු.2000කට බවත් අත්අඩංගුවේ පසුවන කොඩිය සෑදූ පුද්ගලයා ආරක්ෂක අංශවලට හෙළිකර තිබේ. එමෙන්ම මුලින්ම දිවුරුමක් දීමට සිවු දෙනෙක් සිට ඇති අතර එම දිවුරුම දුන් දෙදෙනෙක් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසුව අලුතින් එක්වූ දෙදෙනෙකු සමග යළිත් දිවුරුමක් ලබාදී පටිගත කර ඇතැයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිව තිබේ. දැනට ඉන්දීය ආරක්ෂක අංත්අඩංගුවේ පසුවන්නේ එසේ දෙවැනි වරට දිවුරුම ලබාදුන් පුද්ගලයන් සිවු දෙනා බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම පුද්ගලයන්ට විදේශ රටක සිටින පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 4ක මුදලක් එවා ඇති අතර, ආරක්ෂක අංශ ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සියලු දෙනාම පාහේ ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ සිවු දෙනා මෙන් ඉතා තදබල ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හා වෙනත් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ අය බවට ද ආරක්ෂක අංශ හෙළිකරගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉන්දියාව ප්‍රකාශ කරන පරිදි මෙම පුද්ගලයන් ISIS සංවිධානය හා සම්බන්ධ වන්නේ කෙසේදැයි හෙළිකර ගැනීමට තවදුරටත් පුළුල් විමර්ශන පැවැත්විය යුතු බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.
මොවුන් මෑතකාලීනව ISIS සාමාජිකයන් හා සම්බන්ධ වූයේද යන්න පිළිබඳවත් ඉන්දීය විමර්ශන නිලධාරීන් මොවුන් පිළිබඳව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවත් විශේෂයෙන් අවධානයට ලක්කර ඇති බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.
මොහොමඩ් නුෂාරත්, මොහොමඩ් නෞෆර්, මොහොමඩ් ෆාරිෂ්, මොහොමඩ් රෂ්ඩින් නමින් හඳුනාගෙන ඇති ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයන් මීගමුව,ග්‍රෑන්ඩ්පාස්,මාලිගාවත්ත හා මට්ටක්කුලියේ පදිංචි කරුවන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. මොවුන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පොට්ට නෞෆර්ගේ පුත්‍රයාද වන බව හෙළිවී තිබේ.
ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් Ge 1176 දරන ගුවන් යානයෙන් ඉකුත්18දා සෙනසුරාදා මෙම සිවු දෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර, මොවුන් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ ඉකුත් 19 දා ඉරිදා රාත්‍රියේදීය.