පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මේ සඳහා අපි විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව හරහා ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වුණා නම් ඒ් පිළිබඳවත්, කොමිෂන් සභා වාර්තාවල යම් අඩුපාඩුවක් වෙලා තිබේ ද යන්න පිළිබඳවත් විමර්ෂණය කරනවා. ජනාධිපතිවරයා පත් වූ මේ පුංචි කාලය තුළම මේ සම්බන්ධයෙන් කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඉතිහාසයේ වූ වැරදි මේ ආණ්ඩුව යටතේ සිදු වීමට අපි ඉඩ තබන්නේ නැහැ.ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ.