වගා හානි වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදල් වෙන් කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
නියඟය හා ගංවතුර හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන ගොවි ඉඩම් ප්‍රමාණය මේ වන විට ගණනය කරමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි .
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (23) මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
නියමිත දිනට වගාව ආරම්භ කිරීම සහ අදාළ නිලධාරීන් අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සිදු වුණි නම් සිදු වූ වගා හානිය මීට වඩා බෙහෙවින් අවම කර ගැනීමට හැකිව තිබූ බව පැවසූ අමාත්‍යවරයා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම සඳහා මුදල් අවශ්‍ය බව ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දුන් බවද පැවසීය .
ඉදිරි කන්නයේදී නියමිත දිනට වගාව ආරම්භ කරන බවට ගොවි නායකයන් පොරොන්දු වූ බවත් නිලධාරීන් ද ඒ සඳහා සක්‍රිය දායකත්වය ලබාදෙන බවට තමන් සමඟ කළ ඒකාබද්ධ සාකච්ඡාවේදී එකඟ වූ බව දඅමාත්‍යවරයා අවධාරණය කළේය .
කීරි සම්බා පරිභෝජනය ඉහළ ගියත් එහි වගාව අවම තත්වයක පවතින බව කී අමාත්‍යවරයා කීරි සම්බා වගාව ඉහළ නැංවීම සඳහා ඉදිරි මහකන්නයේදී වැඩසටහනක් දියත් කරන බවද පැවසීය .