ඉතාලි ජාතික සංචාරක යුවළක් රැගත් සුඛෝභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ආරක්ෂිත වැටේ ගැටීමෙන් එම යුවළ ඇතුළු රියදුරු තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි අධිවේගී රථවාන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 74 හා 76 වයස්වල පසුවන සංචාරක යුවළ සහ වයස අවුරුදු 42 ක් වන රියදුරුය.
ඉකුත් ජනවාරි 24 වෙනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබූ ඉතාලි ජාතික යුවළ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිට මෙරට සිරි නරඹා පෙරේදා (18) රාත්‍රී යළි මව් රටට යාම සඳහා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක සමාගමකින් සුඛෝභෝගී මෝටර් රථයක් ඇනයුම්කර එමගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා යමින් සිටියදී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
සුඛෝපභෝගී මෝටර් රථයේ රියැදුරු එකවරම අපරීක්ෂාකාරී ලෙස මෝටර් රථය වම් අත දිශාවට හැරවීම හේතුවෙන් ආරක්ෂිත වැටෙහි මුල්ලේ මෝටර් රථය ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
තුවාල ලබා සිටි විදේශීය ජාතික යුවළ හෝමාගම මූලික රෝහල වෙත යොමු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් වහා කටයුතු කර තිබූ අතර මඳ වේලාවකට පසු පපුවේ වේදනාවක් හටගන්නා බව මෝටර් රථයේ රියදුරු ද පැවසීමෙන් අනතුරට ඔහුද රෝහල් ගත කළ බව පොලිසිය කියයි.