විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකතවය ලබා ගත්තේ යැයි පැවසුවද ඔහු වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් හොබවන බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරනු ඇතැයි 'අද'ට වාර්තා වේ.
ඒ අනුව මේ පිළිබඳ 'අද' සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ වූ නිර්දේශ පක්ෂයේ විනය මණ්ඩලය විසින් පක්ෂ ප්‍රධානීන් වෙත මේ වනවිට දැනුම් දී ඇති බවයි.
කෙසේ වුවද , අන්තර්කාලීන ආණ්ඩුව පවත්වා ගෙන යාම සඳහා සහාය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා දී ඇති එකඟතාව හේතුවෙන් එම ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස තවදුරටත් පක්ෂයක් ලෙස සාකච්ඡා කළ යුතුව ඇතැයි ඔහු පැවසීය.
ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විජයදාස රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙකු බැවින් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී යන බවයි.