ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර තිබු වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එසේ නියම කළ දිසා විනිසුරුවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළකාලමින්ද වාරණ නියෝගයක්ද නිකුත් කළේය.
ජුනි මස 25 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝග නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂයේ නියෙයා්ජ්‍ය මහලේකම් සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, වැඩ බලන මහලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් නම් කර ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලෙන් ඉල්ලා ඇති සියලු වාරණ නියෝග සහ අතුරු තහනම් දැන්වීම් ලබන 25 වැනිදා තෙක් දීර්ඝ කළ දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමටට නියම කරමින් නොතීසි කළේය.