ශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ මාසයක් තුළ ඇඟළුම් අපනයනයෙන් උපයා ගත් වැඩිම ආදායම පසුගිය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. එම මාසයේදී ඇඟළුම් අපනයනයෙන් ඩොලර් මිලියන 537 ක ආදායමක් උපයා තිබේ. එසේම මේ වසරේ පළමු මාස හය තුළ ඇඟළුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (JAAF) අනුව, 2022 ජූනි මස කාර්ය සාධනය 2019 මාර්තු මාසයේදී ලබා ගත් ඩොලර් මිලියන 504 ක පෙර ඉහළම අගය ඉක්මවා ගොස් ඇත. එසේම මේ වසරේ මැයි මාසය හා සලකා බැලීමේදි ඇඟළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම සියයට 39%කින් වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ ජුනි හා සසදා බැලීමේදි මෙම වර්ධනය සියයට 30කි.
කොවිඩ් 19 ඇතුළු අර්බුද මධ්‍ය යේ පවා ක්ෂේත්රයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වී ඇති අතර කොවිඩ් 19 වසංගතයට පෙර තිබුණ තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයකට මේ වන විට එම කර්මාන්තය පත්ව තිබේ.
ඇඟලුම් කර්මාන්තය පූර්ව-COVID ඔරොත්තු දීමේ හැකියාවට ආපසු හැරී ඇතිවා පමණක් නොව එය වඩා හොඳ තත්ත්වයකට පත්ව ඇති බව තහවුරු කර තිබේ. 2019 පළමු භාගයේ දී ඇඟළුම් අපනයයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.62ක් උපයා තිබුණ අතර මේ වසරේ පළමු අර්ධයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ.
2021 පළමු භාගයට සාපේක්ෂව මේ වසරෙ පළමු භාගයේදි කර්මාන්තයේ වර්ධනය සියයට 20ක් වෙයි. 2021 දී ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 5.43 කි.
ජුනි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන 67.6% කින් එනම් ඩොලර් මිලියන 231.38 දක්වා ඉහළ ගොස් ඇති අතර යුරෝපා සංගමය වෙත (එක්සත් රාජධානිය හැර) කරන අපනයන 24% කින් ඩොලර් මිලියන 158.48 දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියට අපනයනය 16% කින් වර්ධනය වි ඩොලර් මිලියන 69.52 ක් බවට පත්ව තිබේ. 2022 ජූනි මාසයේ දී අනෙකුත් රටවලට අපනයන ද වසරකට පෙර හා සැසඳීමේදී ඩොලර් මිලියන 77.27 දක්වා 31.52% ක වර්ධනයක් වාර්තා කර තිබේ.
ආයෝජන මණ්ඩලය මෑතකදී ප්‍රකාශ කළේ දේශපාලන කැලඹිලි තිබියදීත් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන බවයි. 2022 වසර සඳහා මෙම අංශයේ නව ආයෝජන සහ පුළුල් කිරීම් සඳහා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 76 ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි එම මණ්ඩලය පැවැසිය.
Daily FT ඇසුරෙනි