වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට කාන්තාවන් තිදෙනෙක් තමාට සහය වූ බවත්, ඔවුන් තිදෙනාගේ සහය නොමැති නම් මෙලෙස රට ගොඩ ගැනීමට තමාට නොහැකි වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“කාන්තාව අපේ බලය“ යන තේමාව යටතේ අද(09දා) කොළඹ පැවති ජාතික කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා. කුසගින්න නිර්පාක්ෂිකයි. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා. කුස පිරවීම නිර්පාක්ෂිකයි. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙකට දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක් විය යුතුයි. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි.
මම ජනාධිපති ධූරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැන ගිය නිසයි. මම ජනාධිපති ධූරය භාර ගැනිමෙන් පසු “අප සියලුදෙනා එක්ව ජනතාව මෙම දුෂ්කරතාවන්ගේ මුදා ගැනීමට කටයුතු කරමු” කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙන්ම අනුර දිසානායක මහතාගෙන් ද ඉල්ලීමක් කළා.නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට අපට සහාය ලබා දුන්නේ නැහැ.
එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි. දේශප්‍රේමය ගැන කථා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යාමට උදව් කළා. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.